Saturday, April 27, 2024

General line - 0115112241

විදුලිබල කේෂ්ත්‍රයේ ගැටළු ජනපතිගේ අවධානයට




විදුලිබල ක්‍ෂේත්‍රයේ ගැටළු පිළිබද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ, ජනාධිපතිවරයා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින ආයතනවල ජේ්‍යෂ්ඨ නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීයි.

ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු ආයතන නියෝජනය කරමින් නියෝජිතයින් මෙම හමුවට එක්ව සිටි අතර එම ආයතනවල පැන නැගී ඇති ගැටළු සහ ඒවාට ලබාදිය හැකි කඩිනම් විසදුම් පිළිබද එහිදී අවධානයට යොමුව තිබෙනවා. විදුලිබල අවශ්‍යතාව සපුරා ගැනීම සහ ඒ වෙනුවෙන් වූ ශ්‍රි ලංකා රජයේ ප්‍රතිපත්ති පිළිබද විදෙස් රටවල් දැනුවත් කර නව ව්‍යාපෘති සදහා ආයෝජකයන් ගෙන්වා ගැනීම සහ එහිදී විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීම පිළිබදවද ජනාධිපතිවරයා එහිදී අවධානය යොමු කළා.

පසුගිය වසර කිහිපය තුළ විදුලිබල ක්‍ෂේත්‍රයට අදාළව විදේශ රටවල් රැසක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් තබා තිබුණද ඉන් බොහොමයක් රාජ්‍යයන් අතර අත්සන් තැබුණු ගිවිසුම් නොව පුද්ගලික සමාගම් සමග ඇති කර ගත් එකගතාවන් බවද මෙහිදී අනාවරණ වී තිබෙනවා. එබැවින් ඒවා ක්‍රියාත්මක කිරීමේදී නිසි අධ්‍යයනයක් සිදු කරමින් රටට හිතකර අන්දමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදී අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. 

මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ජනාධිපති ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.