Saturday, April 27, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය චීනයෙන්ම නිපදවූ බවට ඊශ්‍රායල් ඔත්තු සේවා නිලධාරියෙක් කියයි 




චීනයෙන් ව්‍යාප්තවීම ආරම්භ වූ නව කොරෝනා වෛරසය ඔවුන් විසින්ම නිපදවූ වෛරසයක් බවට ඊශ්‍රායලයේ "මොසෑඩ්" බුද්ධි සේවයේ විශ්‍රාමික නිලධාරියෙක් සඳහන් කර සිටිනවා.

චීනයේ ජිව විද්‍යාත්මක අවි සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලැබූ මෙම ඊශ්‍රායෙල් මොසෑඩ් බුද්ධි සේවයේ විශ්‍රාමික විශ්ලේෂක නිලධාරිවරයා සඳහන් කර සිටියේ, චීනය විසින්ම සිදුකළ රහසිගත ජිව විද්‍යාත්මක අත්හදා බැලීමකදී මෙම වෛරසය විද්‍යාගාරයෙන් පිටතට සම්ප්‍රේෂණය වන්නට ඇති බවයි.

නව කොරෝනා වෛරසය පැතිරී යාම ආරම්භ වූ වුහාන් නගරය තුල චීන රජයේ "ජාතික ජෛව සුරක්‍ෂිතා විද්‍යාගාරය" පිහිටා ඇති අතර එහි මාරාන්තික වෛරස් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබන බවයි එම බුද්ධි අංශ විශ්ලේෂකයා පෙන්වා දෙන්නේ. මෙම විද්‍යාගාරය තුල චීන රජය විසින් ජිව විද්‍යාත්මක වෛරස් සම්බන්ධයෙන් අත්හදා බැලීම් සිදුකරනු ලබන බවට තොරතුරු වාර්තා වුයේ බොහෝ කලක සිටයි.

නව කොරෝනා වෛරසය පැතිරීයාම වුහාන් හි පිහිටි මත්ස්‍ය අලෙවි සැලකින් ආරම්භවූ බවයි පළමුව චීනයේ බලධාරීන් ප්‍රකාශ කර සිටියේ. නමුත් මෙම වෛරසයට ගොදුරුවූ බවට වාර්තාවූ පළමු රෝගියා සහ එම වෙළදසැල සමග කිසිදු සම්බන්ධතාවයක් පවත්වා නැති බවට මේ වන විට කරුණු හෙළිවී තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සඟරාවකට ලිපියක් පළකරමින් චීනයේ විශේෂඥයින් පිරිසක් මේ බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

"පළමු වරට කොරෝනා වෛරසය වැළදුණු බවට සැක කෙරෙන රෝගියා හමුවුයේ දෙසැම්බර් මස 01 වෙනිදායි. ඔහුගේ සහ වුහාන් නගරයේ පිහිටි මත්ස්‍ය අලෙවි සැල සමග කිසිදු සම්බන්ධතාවයක් තිබී නැති බවට අපට තහවුරු වුවා. පළමු රෝගියාගේ සිට 13 වන රෝගියා දක්වා සිදුකළ විමර්ශන වලදී හෙලිවුයේ ඔවුන්ද මෙම වන සතුන් අලෙවි කරනු ලබන වුහාන් හි පිහිටි මත්ස්‍ය අලෙවි සැල සමග කිසිදු සම්බන්ධකමක් පවත්වා නැති බවයි" එම විද්‍යාඥයින් පිරිස තමන් සිදුකළ විමර්ශනවලදී හෙළිවූ කරුණු සම්බන්ධයෙන් The Lancet නම් සෞඛ්‍ය සඟරාවට ලිපියක් පළකරමින් ප්‍රකාශ කර සිටියි.

ඒ අනුව පළමු රෝගීන් 13 දෙනා හරහා මෙම වෛරසය සීඝ්‍රයෙන් පැතිරී ගොස් ඇති බවත් ඔවුන්ට එම වෛරසය වැළදී ඇත්තේ කුමනාකාරයෙන් ද යන්න මේ දක්වා ප්‍රශ්නාර්ථයක් වී තිබෙනවා.

මෙම වෛරසය සම්බන්ධයෙන් සත්‍ය කරුණු වසන් කිරීම සම්බන්ධයෙන් චීනයේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ඔහුගේ රජයට රට වැසියන්ගෙන්ම දැඩි දෝෂාරෝපණයක් එල්ල වෙමින් පවතින බවයි වොෂින්ටන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ.