Friday, April 26, 2024

General line - 0115112241

ඉහළ මට්ටමක පවතින අවදානමක් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි




වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට කොරෝනා වෛරසය ආසාදනයවීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් එම අවදානම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ලොවපුරා සිදුව ඇති කොරෝනා මරණවලින් වැඩි සංඛ්‍යාවක් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් බවයි වෛද්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මෙරට පළමු කොරෝනා මරණ ඊයේ (28) වාර්තා වූ අතර එහිදී ද මියගියේ වයස අවුරුදු 60 ක පුද්ගලයෙක්. ඔහුද දියවැඩියාව සහ අධිරුධිර පීඩනය යන රෝගවලින් පෙළෙනු අයෙකු බව වෛද්‍යවරුන් සදහන් කළා.

දියවැඩියාව, අධිරුධිර පීඩනය, පිළිකා වැනි රෝග වැළදී තිබෙන වැඩිහිටි පුද්ගලයින්ට මෙන්ම දුම්බීම සහ මත්පැන් පානය කරන පුද්ගලයින්ට කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් එවැනි පුද්ගලයින් බරපතල තත්ත්වයකට පත්විය හැකි බවටයි වෛද්‍යවරුන් අනතුරු අගවා ඇත්තේ.

මෙම කාලසීමාවේදී වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට නිවසේ රැදෙන ලෙසද සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.  

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වත්මන් කේන්‍ද්‍රස්ථානය බවට පත්ව ඇති අමෙරිකාවේ මරණ 10 න් 8 කටම ගොදුරුවී ඇත්තේ වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් බව දත්තවලින් තහවුරු වී ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

කොරෝනා වෛරසය ළමුන්ට සහ මැදි වයසේ පුද්ගලයින් ආසාදනයවීමේ පවතින ඉඩකඩ සම්බන්ධයෙන්ද ශී‍්‍ර ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න පැහැදිලි කළා.

එහිදී සඳහන් කෙරුණේ "මේ වෛරස් එක ඒ අයට පොඩි කැස්ස හෙම්බිරිස්සාවක් එක්ක ඇවිල්ලා අඩු වෙලා යන්න පුළුවන්. ඉතාමත් දුර්ලබ අවස්ථාවලදී තමයි මේ වෛරස් එක දරුවන්ට දරුණු වෙන්න පුළුවන්. මැදි වයසේ අයට මේක හැදුණොත් රෝහල් ගතවෙලා ප්‍රතිකාර ලබලා සුව වෙන්න පුළුවන්. " යනුවෙනි.

මෙරට රෝහල්වල දැඩි සත්කාර ඒකකවල මෙම අවස්ථාවේ වයසින් වැඩි පුද්ගලයින්ගෙන් පිරී ගියහොත් එයද කොරෝනා වෛරසය මර්දනයට බාධාවක් විය හැකි බවයි ඇය මෙහිදී ප‍්‍රකාශ කළේ. එබැවින් නිවෙස්වලින් පිටතට යාමට සිදුවන සෙසු පුද්ගලයින් සිය ආරක්‍ෂාවද සනාථ කරමින් නිවසට පැමිණි පසු වැඩිහිටි පුද්ගලයන් අසල ගැවසීමෙන් වැළකීමත් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමත් මෙම අවස්ථාවේදී අතිශ්‍යයින්ම වැදගත් බවද ශී‍්‍ර ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න වැඩිදුරටත් සදහන් කළා.