Saturday, April 27, 2024

General line - 0115112241

චීනය සමග ද්වි පාර්ශවික සබඳතා නවතා දැමීමට වුව ද සූදානම් - ට‍්‍රම්ප් දැඩි තීරණයක




චීනය සමග පවතින ද්වි පාර්ශවික සම්බන්ධතා සම්පූර්ණයෙන් නවතා දැමීමට වුව ද අමෙරිකාවට හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ සම්මුඛ සාකච්ඡුාවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින්. චීනය විසින් හිතාමතාම කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත කළ බවට දිගින් දිගටම චෝදනා කරන ජනාධිපති ට‍්‍රම්ප් පවසන්නේ, චීන ජනාධිපති ෂී ජින් පින් සමග මේ මොහොතේ කතාබහ කිරීමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි. 

ජාතික ආරක්ෂාව, ක්වන්ටම් පරිගණක තාක්ෂණය සහ කෘතිම බුද්ධිය වැනි ක්ෂේත‍්‍ර ඔස්සේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම සඳහා අමෙරිකාවට පැමිණීමට වීසා අයදුම් කරන චීන ජාතික සිසුන්ගේ වීසා ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කිරීම කෙරෙහි ද ට‍්‍රම්ප් පරිපාලනයේ අවධානය යොමුව තිබෙනවා. කෙසේ වෙතත්, චීනයේ බීජිං නුවර අද පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යාංශයේ ප‍්‍රකාශක ෂාවෝ ලිජියෑන් පැවසුවේ ලෝක සාමය ආරක්ෂා කරගැනීම සඳහා දෙරට අතර ද්වි පාර්ශවික සම්බන්ධතා ස්ථාවරව තබා ගැනීම වැදගත් වන බවයි. 

මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මුහුණු ආවරණයක් පැළඳ නොගෙන පෙන්සිල්වේනියාවේ වෛද්‍ය උපකරණ බෙදා හැරීමේ මධ්‍යස්ථානයක සංචාරයේ නිරත වීම දැඩි ආන්දෝලනයකට හේතු වී තිබෙනවා.

ට‍්‍රම්ප් පසුගිය සතියේ ඇරිසෝනා ප‍්‍රාන්තයේ පිහිටි මුහුණු ආවරණ නිෂ්පාදන මධ්‍යස්ථානයක සංචාරයක නිරත වූ අතර එහිදී ද ඔහු මුහුණු ආවරණයක් පැළඳීම ප‍්‍රතික්ෂේප කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. 

ට‍්‍රම්ප් පරිපාලනය සහ ධවල මන්දිරය විසින් පනවා ඇති නීතිරීති, ජනාධිපති ට‍්‍රම්ප් විසින්ම මෙලෙස ප‍්‍රසිද්ධියේ කඩ කිරීම, බොහෝදෙනා දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබෙනවා.