Tuesday, March 19, 2024

General line - 0115112241

කිළිනොච්චියේ පිපිරීමෙන් පසු නිවාස 600ක් පරීක්ෂා කෙරේ

දිනසේන රතුගමගේ/මාධව කුලසූරිය




ආරක්ෂක අංශ විසින් කිලිනොච්චියේ ගම්මාන කිහිපයක නිවෙස් 600 ක් පමණ සෝදිසි කර තිබෙනවා. ඒ, කිලිනොච්චිය පලෙයි ඉයක්කච්චි ප‍්‍රදේශයේ නිවසක ඉකුත් සිකුරාදා සිදු වූ පිපිරීමෙන් අනතුරුවයි.

අදාළ නිවෙස්වල සිටි සැකකටයුතු පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන්ම ආරක්ෂක අංශ විසින් ප‍්‍රශ්න කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

අදාළ පිපිරීමෙන් LTTE සංවිධානයේ හිටපු සාමාජිකයෙකු බරපතළ තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔහුගේ බිරිඳ ත‍්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. 

පිපිරීම සිදු වූ නිවස පරීක්ෂා කිරීමේදී මෙරට නිෂ්පාදිත බෝම්බ 03 ක්, කළු කොටි සැමරුම සිදු කරමු යනුවෙන් සඳහන් කොඩියක්, පුපුරන ද්‍රව්‍ය සහ LTTE සංවිධානයේ හිටපු සාමාජිකයෙකුගේ ඡායාරූපයක් සොයාගෙන තිබෙනවා.

පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ, කුමන් කටයුත්තක් වෙනුවෙන් එම පුපුරන ද්‍රව්‍ය රැස් කළේද යන්න සොයා ආරක්ෂක අංශ විමර්ශන සිදු කරනවා.

මේ අතර, යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (05) රාති‍්‍රයේ LTTE  කළු කොටි දිනය සැමරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 

විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් කිහිපයක් මැදිහත් වීමෙන් කළු කොටි දිනය සමරා ඇති අතර, මියගිය LTTE සාමාජික - සාමාජිකාවන්ගේ ඡායාරූපවලට පුෂ්පෝපහාර දක්වා ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.