Friday, April 19, 2024

General line - 0115112241

මළ සිරුරූ 07ක් කටුනායකට : තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කළ එකම පවුලේ 03 දෙනෙකුගේ සිරුරුත් ඒ අතර

ටී.කේ.ජී.කපිල




කටාර් හිදී ගෙල සිද මරා දැමූ පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයෙකු සඳහන් කර සිටිනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇති පිරිමි පුද්ගලයා (පියා) ගේ වයස අවුරුදු 59ක් වන අතර කාන්තාවගේ (මව) වයස අවුරුදු 55ක් වනවා. ඝාතනයට ලක්ව ඇති අනෙක් තැනැත්තිය එම යුවලගේ 34 හැවිරිදි වියේ පසුවන දියණිය බවයි වාර්තා වන්නේ. මෙම පිරිස කැළණිය, බියගම පාරේ පදිංචිකරුවන් පිරිසක් වනවා.
              
මෙම පුද්ගලයින් තිදෙනා දරුණු අයුරින් කපා කොටා පසුව ගෙළ සිද මරා දමා ඇති බව මෙම මළ සිරුරු සමග තිබූ එවා තිබු ලිපි ලේඛන වලින් අනාවරණය වූ බවයි ගුවන් තොටුපොළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කලේ.

මෙම පිරිසගේ මළ සිරුරු අද දින උදෑසන 7.10 ට සෞදි අරාබියේ රියාද් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-266 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණා.

එම ගුවන් යානයෙන් මෙම මළ සිරුරු තුනත් සමග තවත් මළ සිරුරු 04 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ අතර ඒ අනුව එම ගුවන් යානයෙන් මළ සිරුරු 07 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණා.

මෙම මළ සිරුරු 04 වෙනත් ස්වභාවික හේතු මත මිය ගොස් සිටි අයගේ මළ සිරුරු බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

මේ අතර තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර තිබු එම මළ සිරුරු 03 පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සදහා මීගමුව මහ රෝහල වෙත යොමු කර තිබෙනවා.