Friday, January 24, 2025

General line - 0115112241

කන්දකාඩු කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් සොයා අදත් මෙහෙයුම්




කොරෝනා වෛරසය ආසාදනය වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරු ඇතුළු නිලධාරීන් ඇසුරු කළ පුද්ගලයින් සොයා දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක අද (13) දිනයේද මෙහෙයුම් කි‍්‍රයාත්මක බව සෞඛ්‍ය අංශ පවසනවා.

ආසාදිතයින්ගේ පළමු මට්ටමේ හමුවීම් මෙන්ම දෙවන මට්ටමේ පිරිස් ද සොයා මෙහෙයුම් කි‍්‍රයාත්මක බවයි ප‍්‍රකාශ කෙරුණේ.

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින් මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ නිලධාරීන් සහ ඔවුන්ගේ සමීපතමයින් රැසක් දැනටමත් හදුනාගෙන අවසන්. ඒ අතරින් පිරිසකට PCR පරීක්‍ෂණ සිදුකර ඇති අතර හදුනාගත් සියළු දෙනා නිරෝධායන කි‍්‍රයාවලියට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ කන්දකාඩු පොකුරේ නිලධාරීන් හා ඔවුන්ගේ සමීපතමයින් හදුනා ගත් ප‍්‍රදේශ අතරට මාරවිල, රාජාංගණය, වැලිකන්ද, ලංකාපුර, හබරාදූව, හික්කඩුව, මහනුවර කුණ්ඩසාලේ  මෙන්ම රත්නපුරයද අයත්.

කොරෝනා වෛරසය ආසාදනය වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන තවත් උපදේශකවරයෙකු ඊයේ හදුනා ගැණුනේ කුණ්ඩසාලේ ප‍්‍රදේශයෙන්. ඔහු පාසල්, බැංකු, වෙළද සැල් සහ විවිධ ආයතනවලට ද ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න සදහන් කළේ ඔහුගේ සමීපතමයින් සියයක් පමණ මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇති බවයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුරෙන් සමාජයෙන් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයා වූයේ මාරවිල නාත්තන්ඩිය ප‍්‍රදේශයේ උපදේශිකාවයි. ඇයගේ ආශි‍්‍රතයින් 50 කට වැඩි පිරිසක් මේ වනවිටත් PCR පරීක්‍ෂණවලට යොමු කර අවසන් බවයි පුත්තලම දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය දිනූෂා ප‍්‍රනාන්දු නෙත් නිවුස් වෙත කියාසිටියේ. 

ඊයේ දිනයේ යොමු කළ PCR පරීක්‍ෂණ 31 ක ප‍්‍රතිඵල ලැබී ඇති බවත් එහි කිසිදු පුද්ගලයෙකු වෛරසයට ගොදුරු වී නොමැති බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර හික්කඩුව නලාගස්දෙණිය ප‍්‍රදේශයේ පිහිටි රෙදිපිළි වෙළදසැලක සේවිකාවන් 12 දෙනෙකු  ද ස්වයං නිරෝධායනයට ලක්කිරිමට පියවර ගැණුනා. ඒ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ උපදේශකවරයෙකු එම වෙළදසැලට පැමිණීමත් සමගයි.

කොරෝනා ආසාදිතයෙකු හමු වූ ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග‍්‍රාම නිලධාරී වසම් 5 ක පුද්ගලයින් 66 දෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක් කළ බවයි ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කළේ.

කොරෝනා ආසාදිතයින් ඇසුරු කිරීම හේතුවෙන් රත්නපුර දේවාලයගාව, කුරුවිට නඩුකාරදෙණිය සහ ඇහැලියගොඩ තොරණගොඩ යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් 60 දෙනෙකු ද ඊයේ ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සමීපව ඇසුරු කළ රාජාංගණය ප‍්‍රදේශයේ 52දෙනෙකුගේ PCR පරීක්‍ෂණ වාර්තා ලැබී ඇති අතර ඉන් 12 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ අතරට වෛරසය පළමුව ආසාදනය වූ උපදේශකවරයාගේ බිරිද ද අයත්. 

මීට අමතරව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් උපදේශකවරයෙකු වාර්තාවීමත් සමග ගාල්ල, හබරාදුව ප‍්‍රදේශයේ ඔහුගේ ආශි‍්‍රතයින් සෙවීමේ කටයුතු අද දිනයේද සිදුකරන බවයි හබරාදූව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඩිල්ෂාන් හතරසිංහ නෙත් නිවුස් වෙත කියාසිටියේ.

මේ වනවිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 477 ක්.