Saturday, April 27, 2024

General line - 0115112241

තේරී පත් වූ අපේක්ෂකයින් පාර්ලිමේන්තු යන්න කලින් මැතිවරණ කොමිසමෙන් නියෝගයක්




මෙවර මහ මැතිවරණය සඳහා තරග කළ සියලූම අපේක්ෂකයින්ට ලබන සැප්තැම්බර් මස 06 වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

තේරීපත්වූ අපේක්ෂකයින් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුවේදි ඡන්දය භාවිත කිරීමට පෙර, දිස්ති‍්‍රක් තේරීම් භාර නිලධාරියා හරහා සිය වත්කම් බැරකම් ප‍්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදිය යුතුයි. එමෙන්ම ඡන්ද ප‍්‍රථිඵල සහ තේරීපත් වූ මන්තී‍්‍රවරුන් ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසු මාසයක් ඇතුළත තේරීපත් නොවූ සියලූ අපේක්ෂකයින් වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබාදිය යුතු බවයි එම කොමිෂන් සභාව නිවේදනය කළේ. 

වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබා නොදීමට කටයුතු කරන අපේක්ෂකයන් පිළිබඳ අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව වෙත වාර්තා කරන බව ද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. 

මේ අතර වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබානොදුන් අපේ්ක්ෂකයින් සම්බන්ධයෙන් සිය සංවිධානය ද මැතිවරණ කොමිෂන් සභාවෙන් තොරතුරු ඉල්ලා ඇති බවයි පැෆරල් සංවිධානය සඳහන් කළේ. එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මේ බව සඳහන් කළා. 

වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබානොදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව අවශ්‍ය පියවර නොගතහොත් ඊට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.