Friday, April 26, 2024

General line - 0115112241

බදියුදීන්ගේ පෙත්සම විභාග කිරීම කල් යයි




රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් ඉකුත් දා නීතිඥවරයෙකු මාර්ගයෙන් ගොනුකළ රීට් පෙත්සම සලකා බැලීම නොවැම්බර් මස 06 වනදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. 

හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ඔහුගේ නීතීඥවරයා පැවසුවේ මේවනවිට තම සේවාදායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.

එබැවින් අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද යන්න පිළිබඳ සේවාදායකයාගෙන් උපදෙස් ලබාගැනීමට අවශ්‍ය බවයි හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට පැවසුවේ. 

ඒ අනුව මීළඟ දිනයේදී පෙත්සම සම්බන්ධයෙන් පෙත්සම්කරුගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ නීතීඥවරයා විසින් ඉකුත් දා අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර තිබුණා. 

එහෙත් ඊයේ අලූයම දෙහිවල ප‍්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේවනවිට සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගතවයි.