Saturday, April 27, 2024

General line - 0115112241

2030 වන විට ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට කැප වනවා - මහින්ද රාජපක්ෂ




2030 වසර වනවිට ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම උදෙසා ශ‍්‍රී ලංකාව කැපවන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ 75 වැනි සංවත්සර දින සැමරුමට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. අනාගතය උදෙසා හරිත හා තිරසර පරිසරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විවිධ බලපෑම් සහ දූෂණයට ලක්වූ පරිසර පද්ධති ප‍්‍රතිස්ථාපනය කිරීම උදෙසා කි‍්‍රයාකාරී මට්ටමෙන් සාමූහිකව මැදිහත්වන්නැයි ලෝක නායකයන්ගෙන් එහිදී ඉල්ලා සිටියා.

මෙම ඓතිහාසික අවස්ථාවේදී ශී‍්‍ර ලංකාව සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානය වසර 65ක් පුරා පැවතෙන දිගුකාලීන සබදතාවද අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී සිහිපත් කළා. කොවිඞ්- 19 වසංගත තත්ත්වයට එරෙහිව සටන් කිරීම සඳහා ශී‍්‍ර ලංකාවට දැක්වූ සහයෝගයට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ස්තූතිවන්ත වන බවයි අග‍්‍රාමාත්‍යවරයා එහිදී සදහන් කලේ. 

ලොව හමුවේ අභියෝගයක්වී තිබෙන මෙම පෙර නොවූ විරූ ගෝලීය සෞඛ්‍ය අර්බුදය මගහරවා ගැනීම සඳහා අන් කවරදාටත් වඩා සාමූහිකව කටයුතු කිරීමේ අවශ්‍යතාවද ඉතා වැදගත්වන බවයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

කොවිඞ්-19 වසංගතය හමුවේ සියලූ‍ දෙනා නැවත ආර්ථික, සමාජයීය සහ ජාලගත ජාත්යන්තර සබඳතා නැවත ගොඩනගා ගැනීමට විසඳුම් සොයමින් සිටිනවා. 2030 වසර වනවිට හරිතවත් සහ වඩා තිරසර අනාගතයක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමට අවශ්‍ය කැපවීම සිය රජය  භාරගෙන ඇති බවයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් සදහන් කළේ.