Saturday, April 27, 2024

General line - 0115112241

පිටකොටුව හෙට විවෘත වූවත් තොග වෙළදාම තහනම්




පිටකොටුව පොලිස් බල ප‍්‍රදේශය හෙට උදෑසන 5 සිට හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරුණද සුපුරුදු පරිදි තොග වෙළදාම සිදු කිරීමට අවසර ලබා නොදීමටයි තීරණය කර තිබෙනවා. ඒ අනුව මැනිං වෙළෙඳපොළ, හතරවන හරස්වීදිය හා පස්වන හරස්වීදිය යන ප‍්‍රදේශවල තොග වෙළදාම තහනම් වනු ඇති.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ හෙට දිනයේ දී අදාල ප‍්‍රදේශයන්හි තොග වෙළෙඳාමට මෙන්ම සෙසු වෙළෙඳාම් සඳහා ද අවසර හිමි නොවන බවයි.

නැවත දැනුම් දෙන තුරු මෙම තීරණය ක‍්‍රියාත්මක බවත් ඊට බලපෑ හේතුවත් මෙලෙස පැහැදිලි කළා.

මේවන විට හුදෙකලා කර ඇති කොළඹ දිස්ත‍්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ සහ මට්ටක්කුලිය යන ප‍්‍රදේශ හෙට අලූයම 5.00 සිට හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරීමට නියමිතයි. මීට අමතරව ගම්පහ දිස්ත‍්‍රික්කයේ මීගමුව සහ රාගම යන ප‍්‍රදේශ ද එලෙසම හුදෙකලා තත්ත්වයෙන් මුදා හරිනු ඇති. සෙසු ප‍්‍රදේශ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී තීරණයක් ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේ. 

කෙසේවෙතත් මට්ටක්කුලිය පොලිස් බලප‍්‍රදේශයේ පිහිටි රන්දිය උයන නිවාස යෝජනා ක‍්‍රමය සහ ෆර්ගියුෂන් පාරේ දකුණු පෙදෙස හෙට අළුයම 05 සිට හුදෙකලා කිරීමට නියමිතයි. මීට අමතරව වැල්ලම්පිටිය පොලිස් බල ප‍්‍රදේශයට අයත් ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක‍්‍රමය මෙන්ම සාලමුල්ල සහ විජයපුර යන ග‍්‍රාම නිලධාරී වසම් ද හෙට අළුයම 05 සිට හුදෙකලා කරනු ඇති.

මේ අතර කොළඹ වරාය අවට ප‍්‍රදේශය කොවිඞ් වෛරස ව්‍යාප්තිය බහුල ප‍්‍රදේශයක් බැවින් එය වරාය කටයුතු වලටද තර්ජනයක් වී ඇති බව ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ‍්‍රාමික ජෙනරාල් දයා රත්නායක පවසනවා. ඒ, අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

මේ අතර, මාතලේ යටවත්ත උණවේරුව නව ජනපදය ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු හමුවීමත් සමග ග‍්‍රාම නිලධාරි වසම් දෙකකට සංචරණ සීමා පැනවීමටතීරණය කර තිබෙනවා. එලෙස සංචරණ සීමා පනවා ඇත්තේ උණවේරුව සහ අලූත්ගම උතුර ග‍්‍රාම නිලධාරි වසම්වලටයි.