Saturday, April 27, 2024

General line - 0115112241

උත්සව සමය වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් ඇතුළු කාණ්ඩ කිහිපයකට විශේෂ ණය යෝජනා ක්‍රමයක්




ළඟ එන නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම පිණිස සෑම පවුලකටම සහන පොළියට පරිපූරක මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබෙනවා.

ණය සම්පාදනය කාණ්ඩ 03ක් යටතේ සිදු කරනු ලබන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.

මසකට රුපියල් 50,000ට වැඩි වැටුප් හෝ ආදායම් ලාභීනට රුපියල් 50,000ක ණයක් ගැනීමට හැක. මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000 සහ 50,000 අතර පිරිසට රුපියල් 25,000ක ණය සැපයේ. 

මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000ට අඩු නම් ණය මුදල රුපියල් 10,000කි. 

ණය සපයනුයේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ සමෘද්ධි බැංකුව මගිනි.

පරිපූරක සහන මූල්‍ය පහසුකම් ලබා ගැනීමට කැමති රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සේවකයන් සිය ප්‍රධානීන්ට ඒ බව දැනුම් දිය යුතුය. 

ආයතන ප්‍රධානියා තම සේවකයන්ගේ සහතික කළ නාම ලේඛනය සේවා ස්ථානය අසළ රාජ්‍ය බැංකුව වෙත ඉදිරිපත් කළ විට එකී බැංකු ශාඛාව විසින් සේවකයන්ගේ ගිණුම්වලට නියමිත මුදල නොපමාව බැර කරනු ලැබේ.

ණය මුදල මාස 10ක් ඇතුළත ගෙවා නිම කළ යුතුය. අය කෙරෙන මාසික පොලිය සියයට 0.625 කි.    

2021 ජනවාරි සිට ඔක්තෝබර් 31 දක්වා කාලය ඇතුළත සේවකයාගේ වැටුපෙන් ණය මුදල අය කර ගැනේ.

රජයේ විශ්‍රාමලාභීන්ට සහ සමෘද්ධිලාභීන්ට ණය සම්පාදනය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සහ සමෘද්ධි බැංකුවට පැවරේ.

ත්‍රීරෝද, පාසල් වෑන් සහ බස් රථ හිමියන්ට සහ පෞද්ගලික බස් රථ සේවකයන් වැනි අයට සිය බැංකු ගිණුම පවත්වාගෙන යන රාජ්‍ය බැංකුව වෙත ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කොට සහන ණය මුදල ඉල්ලුම් කිරීමට පිළිවන. 

මේ කාණ්ඩයට අයත් නොවන එහෙත් රාජ්‍ය බැංකුවල ගිණුම් ඇති දෛනික රැකියාවන්හි නිරතවූවනටද සිය බැංකුවෙන් මූල්‍ය පහසුකම් ඉල්ලුම් කළ හැකිය.

කොවිඩ් 19 අභියෝගය හමුවේ අඩාල වූ ආර්ථිකය සහ ජන ජීවිතය මුළුමනින්ම යථා තත්ත්වයට පත් කොට 2020දී අහිමි වූ ප්‍රගතිය ද සමගින් 2021 වසරේ රට ඉදිරියට ගෙන යාම රජයේ අරමුණ වී තිබේ.