Saturday, April 27, 2024

General line - 0115112241

කොරෝනා එන්නත් රැගත් ඉන්දීය විශේෂ ගුවන් යානය අද පෙරවරුවේ දිවයිනට




ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට හිමිවන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් අද පෙරවරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. ඒ, ඉන්දියාවේ සිට පැමිණෙන විශේෂ ගුවන් යානයකින්. මෙරටට රැගෙන මෙම එන්නත් තොගය අද පෙරවරු 11ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කටුනායක ගුවන් තොටුපළේදී නිල වශයෙන් භාර ගැනීමට නියමිතයි. එන්නත් කිරීමේ කටයුතු හෙට සිට ආරම්භ කෙරෙන අතර පළමු අදියර යටතේ කොරෝනා මර්දන කටයුතුවල නිරත ඉදිරිපෙල කණ්ඩායම් සඳහා ලබා දීමට නියමිත බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

මෙලෙස අද  දිවයිනට රැගෙන එන ඇස් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත් මාත්‍රා තොගය ගුවන් තොටුපොලේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශීතාගාර වෙත ප්‍රවාහනය කිරීමට නියමිතව තිබෙනවා. අනතුරුව එම එන්නත් මාත්‍රා සෙල්සියස් අංශක දෙකත් අටත් අතර උෂ්ණත්වයක් යටතේ ගබඩා කර තැබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. එම එන්නත් මාත්‍රාවල වගකීම රජය විසින් භාරගන්නා බවද ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපති ජේ්‍යෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග ප්‍රකාශ කළා. දැනට සකස් කර ඇති එන්නත්කරණ වැඩසටහන සම්පූර්ණයෙන්ම රජය පමණක් මෙහෙය වන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර ඉදිරියේදී චීනයෙන් සහ රුසියාවෙන් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ප්‍රදාන මෙරටට හිමි වීමට නියමිත බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී ප්‍රකාශ කළා.