Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල බටහිර කොදෙව් ප්‍රවීනයන් පරදයි




ශ්‍රී ලංකා ක්‍රිකට්, ජයග්‍රාහී පිපාසයෙන් පෙළෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කලක් සිය උපරිම දායකත්වය ලබාදුන් සුපිරි තරු යළිත් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ඔසවා තැබුවා. ඒ, ඊයේ රාත්‍රියේ පැවැති මාර්ග ආරක්ෂාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ලෝක ක්‍රිකට් තරගාවලියේදීයි. ඉන්දියාවේ රායිපූර්හි පැවැති මෙම තරගයේදී එකිනෙකා මුණ ගැසුණේ බටහිර ඉන්දීය සුපිරි තරු කණ්ඩායම හා ශ්‍රී ලංකා සුපිරි තරු කණ්ඩායමයි. 

“ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්” නමින් තරගයට පිවිස ශ්‍රී ලංකා සුපිරි තරු “බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස්” කණ්ඩායම පරාජය කළේ කඩුළු 05 කින්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 04 කට ලකුණු 157 යි. සුපිරි පිතිකරු බ්‍රයන් ලාරා නොදැවී ලකුණු 53 ක්ද, ඩ්වේන් ස්මිත් වේගවත් ලකුණු 47 ක්ද රැස් කළා. පන්දු යැවීමේදී තිලකරත්න ඩිල්ෂාන් සහ චින්තක ජයසිංහ එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 19 කදී කඩුළු 05 කට ලකුණු 160 ක් රැස්කරමින් තරගයේ ජය තහවුරු කළා. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග පන්දු 35 කදී නොදැවී ලකුණු 53 යි.  තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 47 ක්ද, චාමර සිල්වා ලකුණු 22 ක්ද, රැස්කළා. තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ උපුල් තරංගයි.