Saturday, April 27, 2024

General line - 0115112241

කොරෝනාවෙන් බේරෙන්න ගැබ් ගැනීමෙන් වළකින්න 




කොරෝනා වෛරස් වසංගතය පහව යන තුරු ගැබ් ගැනීමෙන් වළකින ලෙස බ්‍රසීලයේ සෞඛ්‍ය බලධාරීන් එරට කාන්තාවන්ට දැනුම් දී සිටිනවා.

බ්‍රසීලයේ මේ වන විට ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදය දරුවන් අපේක්ෂිත මව්වරුන්ට වඩාත් භයානක තත්ත්වයක් ලඟා කරවන බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ ලේකම් රෆායල් කමාරා අනතුරු අඟවා සිටින්නේ.

යහපත් ගැබ් ගැනීමක් උදෙසා හැකිනම් ගැබ් ගැනීමේ කාලය කල් දැමීමට සියලුම කාන්තාවන් කටයුතු කිරීම වැදගත් බවයි සිකුරාදා මාධ්‍ය හමුවකට එක්වෙමින් රාථමික සෞඛ්‍ය ආරක්ෂණ ලේකම් රෆායල් කමාරා සඳහන් කළේ.

මේ වන විටත් බ්‍රසීලයේ ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදයන් සහ එයින් ගර්භනී කාන්තාන්ට එල්ලවිය හැකි අවධානම සම්බන්ධයෙන් පර්යේෂණ ආරම්භ කර ඇති බවයි සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කරන්නේ.

මේ වන විට ලැබී ඇති සායනික දත්ත අනුව නව කොවිඩ් ප්‍රභේදය ගර්භනී කාන්තාවන්ට වඩාත් බයානක බවයි ඔහු සඳහන් කර සිටියේ.

බ්‍රසීල ජනාධිපති ඇතුළු රජයේ අවම සැලකිල්ල නිසා එරට තුල කොවිඩ් වසංගත තත්ත්වය පාලනයෙන් ගිලිහි ඇති බවට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ චෝදනා කර සිටින අතර ඉදිරියේදී තත්ත්වය මීට වඩා භයානක වනු ඇති බවට ඔවුන් අනතුරු අඟවා සිටිනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් අමෙරිකාවට පසුව ලොව දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට වන්නේ බ්‍රසීලයයි. මේ වන විට බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 368,749ක් වන අතර වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන මිලියන 13.8ක් වනවා.