Friday, April 26, 2024

General line - 0115112241

හදිසියේ කාර්යාල දුම්රිය අවලංගුවීමේ සිද්ධිය ගැන දුම්රිය දෙපර්තමේන්තුවෙන් පරීක්‍ෂණයක්




ඉකුත් බ්‍රහස්පතින්දා පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 23 ක් අවලංගුවීම සම්බන්ධයෙන් විශේෂ පරික්‍ෂණයක් සිදුකරන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා. අදාළ දිනයේ පස්වරුවේ ධාවනයවීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය වාර 23 ක් අවලංගුවි ඇත්තේ අදාළ දුම්රිය ධාවනය කිරීමට නියමිතව සිටි එන්ජින් රියදුරන් ඇන්ටිජන් පරීක්‍ෂණ සදහා පෙනී සිට නිවෙස් බලා පිටත්ව ගොස් තිබීම බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි පීඩාවකට ලක්වූ අතර දැඩි තෙරපීමකින් යුතුව ධාවනය වූ දුම්රිය කිහිපය තුළ ගමන් කිරීමට විශාල මගීන් පිරිසකට සිදුවුණා. පුද්ගල දුරස්ථභාවය වෙනදාටත් වඩා වැඩියෙන් පවත්වා ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදි තිබියදී තමන්ට මුහුණුපෑමට සිදුවූයේ දැඩි අවදානම් තත්ත්වයකට බවයි දුම්රිය මගීන් චෝදනා කරන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන ගාමිණි සෙනෙවිරත්නගෙන් නෙත් නිවුස් කරුණු විමසීමක් කළා. 

රාත්‍රී තැපැල් දුම්රියන් සහ කාර්ය බහුල නොවන කාලසීමාවේ ධාවනය වන දුම්රිය වාර ගණනාවක් මේ වනවිට අවලංගු කර තිබෙනවා. 

එහෙත් ලබන සතිය වනවිට කාර්යාල දුම්රිය වාර ගණන තවත් වැඩිකරන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිරී ධාවන ගාමිණි සෙනෙවිරත්න වැඩිදුරටත් සදහන් කළේ.   

මේ අතර පවතින කොරෝනා ව්‍යාප්තියේ අවදානම් තත්ත්වය හමුවේ දුම්රිය වාර සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන ලෙස ප්‍රවාහන බලධාරීන්ට දැනුම් දෙන බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ.