Saturday, April 27, 2024

General line - 0115112241

මෙරට පාපන්දු ක්‍රීඩාවේ මූල්‍ය වංචා රැසක්




පාපන්දු සම්මේලනයේ අවසන් වරට පැවැති නිලවරණය පැවැත්වීම වෙනුවෙන් නිලවරණ කමිටු සභාපතිට රුපියල් හත් ලක්ෂ 50,000 ක මුදලක් ලබාදීමට අනුමත කිරීම සම්බන්ධයෙන් කෝප් කාරක සභාවේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

එහිදී හෙළි වී ඇත්තේ නිලවරණය පැවැත්වීම වෙනුවෙන් අනෙකුත් සාමාජිකයන් දෙදෙනාට ද රුපියල් ලක්ෂ හය බැගින් ලබාදී ඇති බවයි.

2021 වසරේ අප්‍රේල් මස 22 වනදා කෝප් කාරක සභාව රැස්වෙන විට මෙම මුදල් ගෙවූ බව කිසිදු නිලධාරියෙකු ප්‍රකාශ නොකළ බවත්,  අප්‍රෙල් මස 20 වැනි දින එම මුදල් ගෙවා ඇති බව දැන් පැවසීම සැක සහිත බවත් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදුකර සති 02 ක් ඇතුළත කාරක සභාවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්ට දැනුම් දී ඇත්තේ.

මේ අතර පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් ලද මුදල් රුපියල් කෝටි ගණනක්  පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු විසින් අවභාවිත කරනු ලැබීම පිළිබඳව ද කෝප් කාරක සභාවේ විශේෂ අවධානය යොමුවී තිබෙනවා.