Saturday, April 27, 2024

General line - 0115112241

ලාඕසයට මොනවා වෙයිද?




ගිණිකොණදිග ආසියාවේ සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වටවුණු එකම රට වන ලාඕසය දළ වශයෙන් මිලියන 6.8ක ජනතාවක් වෙසෙන චීනයේ දකුණු ස්වයං පාලන කලාපය වන Guangxi හා ප්‍රමාණයෙන් සමාන රටක්.

අග්නිදිග ආසියාවට චීන ව්‍යාප්තියේදී උපායමාර්ගිකව පිහිටීම ඉතා වැදගත් ලාඕසයේ චීන මැදිහත්වීම් වර්ධනය වෙමින් පවතින නමුත් මෙම ප්‍රවණතාවය බොහෝ විට නොසලකා හරිනු ලැබ තිබෙනවා.

මේවන විට චීන-ලාඕ සබඳතා පුළුල් උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වයක් දක්වා වැඩිදියුණු කරගෙන වසර 10 ක් ගතවී  අවසන්.

ඓතිහාසික වශයෙන්, ලාඕසයේ  චීන මැදිහත්වීම් දේශ සීමාවට ආසන්න උතුරු පළාත්වලට  වැඩි වශයෙන් සීමා වුණා. නමුත් ප්‍රවාහන යටිතල පහසුකම්, දේශසීමා ආර්ථික කලාපයක්, ජල විදුලි බලාගාර, පාසල් සහ හමුදා රෝහල් වැනි ආයෝජන ව්‍යාපෘති චීන සබඳතා විස්තාරණය කිරීමක් පෙන්නුම් කරනවා. කුඩා ගොඩබිම් රාජ්‍යයක් වුවද ලාඕසය, භූගෝලීයව ඉතා වැදගත් බව චීන ආයෝජන මගින් පැහැදිලි වනවා.

මීකොං ගඟ ලාඕසය හරහා ගලා බසින හුදු ගංඟාවක්  පමණක් නොව, ජල විදුලිය ලාභදායී කර්මාන්තයක් ද බිහිකර තිබෙනවා. එමෙන්ම ලාඕසය ඛනිජ සහ රබර් ඇතුළු සම්පත් රැසකින්ද සමන්විතයි.

වඩාත් උපායමාර්ගික දෘෂ්ටි කෝණයකින් බලන විට, මහාමාර්ග සහ අධිවේගී මගී හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය  හරහා ගොඩනැගෙන සම්බන්ධය ඔස්සේ චීන භාණ්ඩ ලාඕස වෙළඳපොළට බෙදා හැරීමටත්  සංචාරක හා දේපළ වෙළඳාම් අංශවලට ආයෝජන ඉහළ නැංවීමටත් හැකි වනවා. එමෙන්ම මධ්‍යම ලාඕසය හරහා තායිලන්තය වෙත භෞතික සම්බන්ධතාවයක් ඇති කරගැනීමෙන්  චීනයට එම වෙළෙඳපොළ, වරාය සහ අවසානයේ අන්දමන් මුහුදු ප්‍රදේශය⁣ට පහසු පිවිසීමක් ලබා දෙනවා.

එහෙත්, ලාඕසය භූගෝලීයව ආයෝජන ආකර්ෂණය කර ගත්තද කඳුකර භූවිෂමතාව ප්‍රායෝගික ගැටලු මතු කරනවා. චීනය,  ලාඕසයට පිවිසීමේ සංකේයක් ලෙස සැලකිය හැකි   උතුරු මායිමේ සිට වියන්ටියාන් අගනුවර දක්වා දිවෙන චීන-ලාඕස දුම්රිය මාර්ගය පාලම් 150 කට වැඩි ප්‍රමාණයක් හරහා ගමන් කරන අතර මාර්ගයේ අඩක් පමණ වැටී ඇත්තේ උමං මාර්ග ඔස්සේයි. ඉන් දෙකක් මෑතකදී නිම කරනු ලැබුවා.

දුම්රිය මාර්ග ව්‍යාපෘතිය අමතරව Nam Ou ගංඟා ජලවිදුලි බලාගාරයේ වැඩිදුර සංවර්ධන කටයුතු සහ Asian Investment Infrastructure Bank (AIIB) විසින් ඩොලර් මිලියන 40 ක ණයක් යටතේ උතුරු ලාඕසයේ ක්‍රියාත්මක මාර්ග සංවර්ධන ව්‍යාපෘති මෙන්ම  "එක් තීරයක් - එක් මාවතක්" චීන වැඩපිළිවෙළට අයත් ව්‍යාපෘති ලාඕසය තුල ක්‍රියාත්මකයි. මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ලාඕසයේ පළමු AIIB  ව්‍යාපෘතියයි.

විදුලි සංදේශ සේවා සඳහා ලාඕසයට අනන්‍ය වූ චන්ද්‍රිකාවක් දියත් කිරීම සඳහා චීනය  මූල්‍ය පහසුකම් සැපයු අතර විදුලි සංදේශ චන්ද්‍රිකා පහසුකම් සඳහා බීජිංහි සහය ලැබුණු බොලීවියාව, නයිජීරියාව, පාකිස්තානය හා වෙනිසියුලාව අතරට  ලාඕසයද ඒ අනුව එක් වුණා.
 
සමස්තයක් වශයෙන්, චීනය ලාඕසයේ විශාලතම විදේශ ආයෝජකයා සහ ආධාර සපයන්නා මෙන්ම එහි දෙවන විශාලතම වෙළඳ හවුල්කරුවාද වනවා.

යැපුම් ගොවිතැන ආර්ථිකයේ සැලකිය යුතු කොටසකට දායක වන රටක, චීනයේ මැදිහත්වීම පරිවර්තනීය අවස්ථා උදා කරනු ඇති නමුත් ඒ කුමක් සඳහාද යන්න අවධානය යොමු කළ යුතුම කරුණක්.

චීනය සිය ආධිපත්‍යය පතුරුවන්නේ ව්‍යාපෘති සඳහා දීර්ඝකාලීන ණය සැපයීමෙනි. නිදසුනක් ලෙස, චීන-ලාඕස දුම්රිය මාර්ගයෙන් සියයට 70ක් ආවරණය කිරීමට චීනය සූදානම් වන අතර ඉතිරි කොටස සඳහා ලාඕසය වගකිව යුතු අතර, එය බොහෝ දුරට චීන බැංකුවලින් ලැබෙන ණය මගින් ආවරණය කෙරෙනු ඇති. එහෙත් ලාඕසයේ රාජ්‍ය ණය ප්‍රතිශතය මේ වනවිටත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 65කට වඩා ඉහළ ගොස් තිබෙනවා. 

චීනයේ සාමාන්‍ය මූල්‍ය ප්‍රවේශය “ණය රාජ්‍යතාන්ත්‍රිකභාවය” ලෙස හැඳින්වෙනවා. විශේෂයෙන් චීනයේ ණය පහසුකම් ලැබූ රටවල් රැසක් දැනටමත් අධික ණය බරක් දරා සිටින අතර ආපසු ගෙවීමේ අර්බුදයකටද මුහුණ දී සිටිනවා. සැලකිය යුතු චීන ණය කන්දකට යටවී සිටින ශ්‍රී ලංකාව, 2017 දී චීනයට වරායක් බදු දුන් අතර, වෙනිසියුලාවේ  චීන ණය ප්‍රමාණය ඩොලර් බිලියන 20 ක්. 

මේ අතර වියන්ටියාන් හි මීකොං ගං ඉවුරේ ඩොලර් බිලියන 5ක් වැයකර මීටර් 100ක් උස බුද්ධ ප්‍රතිමාවක් ඉදිකිරීම සම්බන්ධයෙන් ෂැන්ගයිහි පිහිටි වැන්ග් ෆෙන්ග් ෂැංහයි දේපළ වෙළෙඳ සමාගමට එරෙහිව ලාඕස ජනතාවගෙන් දැඩි විරෝයක් එල්ල වී තිබෙනවා.

ථෙරවාද බුදුදහම අනුගමනය කරන ලාඕසයේ ඊට පටහැනිව මහායාන නිර්මාණ සම්ප්‍රදායට අනුකූල බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කිරීම  ලාඕසියානු බෞද්ධ හැගීම්වලට හානි කරන  බවට චෝදනා කරමින් ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ සිය විරෝධය පළ කරමින් සි⁣ටිනවා.

මෙම ප්‍රතිමාව ලාඕසියානු ස්වෛරීත්වයේ සංකේතයක් ලෙස පවතින රන් ආලේපිත බෞද්ධ ස්ථූපයක් වන ෆාතුට් ලුආන්ග් අසල පිහිටා තිබෙනවා.

ලාඕස ජනතා විරෝධය එල්ල වූ තවත් එවැනි ව්‍යාපෘතියක් වන්නේ 2020 වසරේ සිට වසර 15ක සහනයක් මත ලාඕසයේ Lao Kalem රන් කැණීම් ව්‍යාපෘතිය පවත්වාගෙන යන චීන සමාගමකට එරෙහිව එල්ල වූ මහජන විරෝධයයි. Sekong පළාතේ (දකුණු ලාඕසයේ) ගංගාවලට විෂ අපද්‍රව්‍ය මුදාහරිමින් ප්‍රදේශවාසීන් භාවිතා කරන ජලය අපවිත්‍ර කරන බවට සමාගමට චෝදනා එල්ල වී තිබෙනවා. ජනතා විරෝධය හමුවේ පානීය ජල අවශ්‍යතා සඳහා නල ජල ව්‍යාපෘතියක් එම සමාගම විසින් ආරම්භ කළත් එය විරෝධය නැවැත්වීමට තරම් ප්‍රමාණවත් වී නැහැ. 

පුවත් මවන ව්‍යාපෘති තිබුණද ලාඕසයට වැදගත් වන එකම අසල්වැසියා චීනය පමණක් නොවේ. තායිලන්තය රටේ විශාලතම වෙළෙඳ හවුල්කරුවා වන අතර, වියට්නාමය සමඟ එහි දේශපාලන බැඳීම ඉතා ප්‍රබල එකක්.  කෙසේ වෙතත්, ලාඕසයේ චීනයේ මැදිහත්වීම අවිවාදිතයි

චීන ජනාධිපති ෂී ජින්පින්ග් 2017 දී ලාඕසයට පැමිණි  අතර, ඔහුගේ දෙවන ධූර කාලයේ පළමු ජාත්‍යන්තර සංචාරය සහ 2006 වසරෙන් පසු චීන නායකයෙකු එරටට පැමිණි පළමු අවස්ථාව ලෙස එය සැලකෙනවා.

ලාඕසය සමග චීන සබඳතාවය, ආර්ථික සංවර්ධන  විභවයන් මෙන්ම කලාපීය භූ දේශපාලනය හැඩගැස්වීමේ කාර්යයයේදී ක්‍රියාකාරී භූමිකාවකට ඉඩ ලැබීම යන අංශ ද්විත්වයෙන්ම දිරි ගන්වනු ලබනවා. මන්ද, කලාපීය භූ දේශපාලනයට නව හැඩයක් ලබා දීම චීනයේ දීර්ඝකාලීන බලාපොරොත්තුවක්. 

ලාඕසයට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන සැබෑ ප්‍රශ්නය වනුයේ ආයෝජන සඳහා ප්‍රති ගෙවීම  සහ චීනයට සමාන ගෝලීය බලපෑමක් නොමැති අසල්වැසියන් දෙදෙනෙකු වන වියට්නාමය සහ තායිලන්තය සමඟ චීනය කටයුතු කරන්නේ කෙසේද යන්නයි.