Saturday, April 27, 2024

General line - 0115112241

උඩුගං බලා පිහිනූ මිනිසුන් අගය කළ ඉන්දියාවේ රාජ්‍ය සම්මාන උළෙල




ඉන්දියාවේ "Jan Bhagidari - ජන් බාගිදාරි"  හෙවත් ජනතා සහභාගීත්වය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලන ආකෘතියේ ප්‍රධාන කුළුණු වලින් එකක්. 

එය ඔහු ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති ධුර කාලය තුළ වර්ධනය කළ ආකෘතියක් වන අතර ඔහු අගමැති ධුරයට පත්වීමෙන් පසු එය ජාතික මට්ටමට ගෙන ගියා.

ඇත්ත වශයෙන්ම, අගමැති මෝදි විසින් දියත් කරන ලද පළමු මුලපිරීම් වලින් එකක් වූයේ 2014 ජූලි මාසයේදී  දියත් කළ තීරණ ගැනීමේදී සහ ප්‍රතිපත්ති සම්පාදනයේදී මහජන සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීමේ පැහැදිලි අරමුන සහිත  MyGov ඩිජිටල් වේදිකාවයි.

කෙසේ වෙතත්, මෝදි රජය විසින් සිදු කරන ලද එකම සාර්ථක ජන් බාගිදාරි අත්හදා බැලීම MyGov නොවේ. 

ඊටත් වඩා විප්ලවීය අත්හදා බැලීමක් සහ දැන් පුළුල් ලෙස සාර්ථක වූ හා අගය කරනුයේ  ඉන්දියාවේ සිවිල් සම්මාන ප්‍රජාතන්ත්‍රීකරණයයි.

ජනප්‍රිය භාෂාවෙන් පද්ම සම්මාන ලෙස හඳුන්වනු ලබන, ඉන්දියානු රජය සෑම වසරකම ප්‍රදානය කරන සිවිල් සම්මාන  කාණ්ඩ තුනකි  : පද්ම විභූෂණ (විශේෂිත සහ කීර්තිමත් සේවය සඳහා), පද්ම භූෂණ (ඉහළ පෙළේ කීර්තිමත් සේවය) සහ පද්ම ශ්‍රී (විශිෂ්ඨ සේවය). 

ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානය - භාරත් රත්න - පද්ම සම්මාන වලින් වෙන්ව සලකනු ලබන අතර ජීවිත කාලය පුරාවටම සුවිශේෂී සේවා සඳහා සුවිශේෂී අවස්ථාවන්හිදී පමණක් ලබා දෙනු ලබන්නක්.

පද්ම සම්මාන මගින් කලාව, සමාජ වැඩ, මහජන කටයුතු, විද්‍යාව සහ ඉංජිනේරු, වෙළඳ හා කර්මාන්ත, වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය සහ අධ්‍යාපනය, සිවිල් සේවය, ක්‍රීඩා  ඉන්දියානු සංස්කෘතිය ප්‍රචාරණය, මානව හිමිකම් ආරක්ෂා කිරීම, වනජීවී ආරක්ෂාව ,සංරක්ෂණය ආදී ක්ෂේත්‍රයන් ආවරණය කෙරෙනවා.

 පද්ම සම්මාන 1950 ගණන්වල ආරම්භ කරන ලද නමුත්, වසර ගණනාවක් පුරා, ඔවුන් සංවෘත කල්ලියක් ලෙස කීර්තියක් ගොඩනඟා ගෙන ඇති අතර, ප්‍රතිලාභීන්ගෙන් බහුතරයක් දිල්ලි අගනුවර බල කවයන් හා සම්බන්ධ අය වුණා.

මේ සියල්ල 2017 දී වෙනස් වූයේ රට පුරා සිටින පුද්ගලයින්ගෙන් විනිවිදභාවයෙන් නාමයෝජනා ලබා ගැනීම සඳහා රජය විසින් වෙබ් අඩවියක් දියත් කිරීමත් සමගිනි.

මෙය දේශපාලකයින් සහ ඔවුන්ට සම්බන්ධ අය විසින් සිදුකළ නාමයෝජනා ක්‍රමයට වඩා සුසමාදර්ශී වෙනසක් වුණා.

ඕනෑම කෙනෙකුට රජයෙන් ලැබෙන ඉහළම සිවිල් සම්මානවලට සුදුසු යැයි සිතන ඕනෑම අයෙකු නම් කළ හැකිය.  ඒ අනුව පද්ම සම්මානය මහජන පද්ම ලෙස නම් වුණා. ⁣එය පසුගියදා ඉන්දීය ජනාධිපතිවරයා අතින් උපහාර ලැබූ මෙම වසරේ ජයග්‍රාහකයින් කිහිප දෙනෙකු සලකා බැලීමෙන් අවබෝධ කරගත හැකියි.

 කර්නාටක ප්‍රාන්තයේ තුලාසි  ගවුඩා දශක ගණනාවක් පුරා පැළ 30,000කට වඩා රෝපණය කර ඇති පරිසරවේදියෙකි. පෙර යුගයකදී නම් ඇයට රාෂ්ට්‍රපති භවන් තුළට ප්‍රවිශ්ඨ වීමට පවා අවසර නොලැබෙනු නියතයි.

නමුත් ඇය හුදු කතා කරන ක්‍රියාකාරිනියක් වීමට වඩා පරිසර සංරක්ෂණයේ නියැළෙන්නියක් වූ අතර, ඇය උස්ව නැඟුණු අත්පොලසන් නාදය මධ්‍යයේ ජනාධිපති මන්දිරයේ අත්‍යාලංකාර ප්‍රධාන ශාලාව මැදින් සරල ග්‍රෝතික ඇඳුමෙන් සැරසී පාවහන් නොමැතිව ඇවිද ගොස් ජනාධිපති රාම් නාත් කෝවින්ද් අතින් රටේ ඉහළම සිවිල් සම්මානයක් වන පද්ම ශ්‍රී සම්මානය දෝතට ගත්තා.

තුලාසි ගවුඩා අයත් වන්නේ කර්ණාටක ප්‍රාන්තයේ හලාකි ගෝත්‍රයට ය. Halakki- Vokkalu නමින් ද හැඳින්වෙන එය ස්වදේශීය ගෝත්‍රයකි. උත්තර කන්නඩ දිස්ත්‍රික්කයේ වොකාලිගා නැමැති ගම්මානයේ මේ ගෝත්‍රය බහුල වශයෙන් දැකගන්න පුළුවනි. පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලද වනපෙතේ විශ්වකෝෂය හෙවත් තුලාසි ගවුඩා ගේ සුවිශේෂිත්වය වන්නේ ජෛව හා සත්ත්ව විවිධත්වය පිළිබඳ ඇය සතු අපූරු දැනුමයි.

තුලාසි ගවුඩා පරිසරය ආරක්ෂා කරනු පිණිස, පරිසරය සුරැකීම පිණිස ඉටුකළ මෙහෙය අතිමහත් ය. 

Encyclopedia of the Forest හා Tree Goddess යන ගෞරව - අන්වර්ථ නාමයන්ගෙන් ඇය සලකනු  ලැබෙන්නේ වන පෙත පිළිබඳවත් එහි ඇති ගස් ගස්වැල් පැළෑටි ආදිය පිළිබඳවත් ඇය සතු වන අප්‍රමාණ දැනුම හේතුවෙනි.

 ඇය හඳුනාගෙන පසුව සම්මානයට පාත්‍ර වූයේ නාමයෝජනා ක්‍රියාවලිය දැන් කුඩා ප්‍රභූ පැලැන්තියක් වෙනුවට සැමට විවෘත වූ නිසාවෙනි.

එමෙන්ම හරේකලා හජබ්බා නම් දොඩම් වෙළෙන්දෙකුද මෙවර පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවා. ඔහු එහිදී හැඳින්වූයේ  අකුරු ශාස්ත්‍රයේ සාන්තුවරයා (saint of letters ) ලෙසයි.

ඔහු පද්ම ශ්‍රී  සම්මානයට පාත්‍ර වූයේ දොඩම් වෙළෙන්දකු වශයෙන් ඉතා සොච්චම් ආදායමක් ලැබෙන ව්‍යාපාරයක් හරහා ගම්මානය වෙනුවෙන් පාසලක් තනා දීම වෙනුවෙන්.

 දිනක් ඔහුගෙන් දොඩම් ගෙඩි කීපයක් මිලදී ගන්නට නතර වූ විදේශිකයෙකු ඔහුගෙන් ඒවායේ මිල විමසී ය. එහෙත් ඒ ඉංග්‍රීසි බසිනි. ඊට පිළිතුරු දීගත නොහැකි වූ හේ මහත්  ලැජ්ජාවට පත් වූණා.

කවර ආකාරයක හෝ විධිමත්, පූර්ණ අධ්‍යාපනයක් ලබන්නට වාසනාවන්තයකු නුවූ හජබ්බා තවමත් පාසලක් නැති තම ගම්මානයට පාසලක් ගොඩ නංවා දෙන්නට එදින අදිටන් කරගත්තා.

එදා පටන් ඔහු කළේ තම උපන් ගමේ පාසල ගොඩනැඟීම සඳහා එදිනෙදා ඉපයූ සොච්චමෙන් මුදලක් ඉතිරිකර වෙන්කොට තැබීම ය. ඔහුගේ අපේක්ෂාව මුදුන් පත් වූ අතර ඉතා කුඩා පාසලක් අරඹන්නට ඔහු සමත් වූයේය 

මේ ආරංචිය කටින් - කට යාමත් සමඟ බොහෝ දෙනාගේ ආධාර උපකාර ඔහු වෙත, ඔහුගේ පාසල වෙත ගලා එන්නට පටන් ගත්තේ ය. ප්‍රාන්ත ආණ්ඩුවේ සහාය ද හිමි වූ එය "හජබ්බා පාසල" නමින් ද ප්‍රචලිත විශාල පාසලකි.. එහි දහවැනි ප්‍රමාණය දක්වා සිසුහු අධ්‍යාපනය ලබති.

එතෙක් මෙතෙක් පාසලක් නොතිබුණ තම උපන් ගමට පාසලක් සාදා දුන් හජබ්බා එහි අකුරු කරන දරුවන්ගේ හඬ අසමින් හැඩ වැඩ බලමින් සතුටු වෙයි.  හරේකලා හජබ්බාද දැන් අලුත් සිහිනයක් දකිමින් සිටිනවා. ඒ තම ගම්මානය වෙනුවෙන් සරසවි ප්‍රවේශ උසස් පාසලක් ගොඩනැඟීමයි.

පද්ම ශ්‍රී සම්මානය ලැබූ මොහොමඩ් ෂරීෆ්ගේ කතාවද හරි අපූරු එකකි. 83 හැවිරිදි, ඔහු බයිසිකල් කාර්මිකයෙකි.  අයෝධ්‍යා නගරයේ ඔහු ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ ෂරීෆ් චාචා ලෙසයි. පසුගිය දශක තුනක කාලය තුළ, ඔහු  හිමිකම් නොගත් මළ සිරුරු 25,000 කට වැඩි සංඛ්‍යාවක අවසන් කටයුතු තම ආගමික සම්ප්‍රදායන් සහ සිරිත් විරිත් අනුව සිදු කර තිබෙනවා.

සංක්‍රාන්ති ලිංගික ජන නර්තන ශිල්පිනියක් වන මාතා බී. මංජම්මා සිය පද්ම ශ්‍රී සම්මානය ලබා ගත්තේ රාෂ්ට්‍රපති භවන් තුළ පමණක් නොව සමාජ මාධ්‍ය හරහා ද නැඟුණු මහත් ප්‍රීති ඝෝෂා මධ්‍යයේයි. එම ප්‍රජාවගේ ක්‍රියාකලාපය හඳුනාගැනීමේදී නොසැලී සිටීමේ රජයේ ප්‍රගතිශීලිත්වය පුළුල් ලෙස පැසසුමට ලක්වුණා. පද්ම සම්මානයක් ලැබූ පළමු සංක්‍රාන්ති ලිංගිකයා මංජම්මායි.  ඇය කර්නාටක ජනපද ඇකඩමියේ සභාපතිවරියයි. කර්නාටක, මහාරාෂ්ට්‍ර සහ ආන්ද්‍ර ප්‍රදේශ්හි ප්‍රචලිත ජන කලා ආකෘතීන් ප්‍රවර්ධනය  කිරීමට දැක්වූ දායකත්වය ඇය පද්ම සම්මානයක් තෙක් රැගෙන ආවා.

රංගම්මාල් හෙවත් පප්පම්මාල් කෘෂිකර්මය සඳහා වූ පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවා. තමිල්නාඩුවේ කොයිම්බතූර් හි කෘෂිකාර්මික කටයුතුවල නිරතවන ඇය කෘෂිකාර්මික කටයුතු සඳහා ගව ගොම සහ ශාක අපද්‍රව්‍ය වැනි කාබනික පොහොර භාවිතා කිරීම ප්‍රචලිත කරමින් හරිත කෘෂිකාර්මික වැඩපිලිවෙල ප්‍රවර්ධනය සඳහා සුවිශේෂී මෙහෙයක් ඉටු කළා.

 “නන්ද සර්” ලෙස ජායිපූර්හි ප්‍රසිද්ධ Nanda Prusty සාහිත්‍යය සහ අධ්‍යාපනය සඳහා පද්ම ශ්‍රී සම්මානය ලබා ගත්තා. 102 වියේ පසුවන ඔහු දශක ගණනාවක් පුරා ඔඩීෂා ප්‍රාන්තයේ ජජ්පූර් හි ළමයින්ට සහ වැඩිහිටියන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දුන්නා.

සමාජයේ පුලුල් අවධානයකට ලක් නොවූ එහෙත් උත්කෘෂ්ට මෙහෙවරක නිරතවන තවත් මෙවැනිම  පිරිසක් මෙවර පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවා. 
නමුත් මීට පෙර පැවති සංවෘත නාමයෝජනා ක්‍රියාවලිය දිගටම පැවතියේනම් කිසි දිනෙක තුලාසි, හජබ්බා හෝ ෂරීෆ් හට රාෂ්ට්‍රපති භවන් වෙත පිවිසීමටවත් අවස්ථාව නොලැබෙන බව සැක නැහැ.

අගමැති මෝදිගේ නායකත්වය කෙරෙහි ජනතා විශ්වාසය පැන නගින්නේ තමන්ගේ  සුබසාධනය සඳහා සහ තමන්ගේ යෝජනා සමඟ ක්‍රියාත්මකවන රජයක්  බව ජනතාවට ඇති විශ්වාසය හේතුවෙකි.

පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ ආණ්ඩු සහ විශේෂයෙන්ම දේශපාලනඥයන්ගේ ජනප්‍රියත්වය කෙටි ආයු කාලයක් පවතින යුගයක, මෝඩි යටතේ ඉන්දියාව ඉදිරිපත් කරන ප්‍රවේශය නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ  නව සම්මතය බවට පත්වනු ඇති.