Friday, April 26, 2024

General line - 0115112241

සුප්‍රකට පාපන්දු ක්‍රීඩකයෙකුගේ සංචාරයෙන් කණ්ඩායමට අත්වූ ඉරණම




සුප්‍රකට පාපන්දු ක්‍රීඩකයෙකු හරහා ඔහු නියෝජනය කරනු ලබන කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ නිලධාරින් 13 දෙනෙකුට ඔමික්‍රෝන් කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය වීමේ පුවතක් පෘතුගාලයෙන් වාර්තා වනවා.

පෘතුගාලයේ Belenenses පාපන්දු ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන Cafu Phete දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමෙන් පසුව නැවත පෘතුගාලයට පැමිණීමෙන් පසු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇත.

පසුව කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ නිලධාරීන් කිහිප දෙනෙකුට ද රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම නිසා සිදුකළ පරීක්ෂණ වලින් ඔවුන් අතරින් 12 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත. 

මෙලෙස හඳුනා ගනු ලැබූ පිරිස දකුණු අප්‍රිකාවේ සංචාරය නොකරනු ලැබූ අය වීම විශේෂත්වයක් වන අතර වෛරසය සම්ප්‍රේෂණය වීමේ වේගය සමබන්ධයෙන් කදිම උදාහරණයක් බවයි විදෙස් මාධ්‍ය පෙන්නුම් කරන්නේ.

මෙම ආසාදිතයින් ගේ සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණ අනුව ඔවුන් 13 දෙනාටම ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට සනාථ වී ඇත. 

මේ වන විට එම පාපන්දු ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් සහ නිලධාරින් 44 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

කෙසේ වුවත් මෙම ක්‍රීඩකයින් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගෙන තිබියදීත් ඉකුත් සෙනසුරාදා Belenenses සහ Benfica කණ්ඩායම් දෙක අතර පාපන්දු තරගයක් පවත්වා තිබෙන අතර ඊට Belenenses කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයින් 09 දෙනෙකු පමණක් ඉදිරිපත්වී ඇත.

මෙවැනි සෞඛ්‍යමය තත්ත්වයක් යටතේ පාපන්දු තරගයක් පැවැත්වීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් Belenenses කණ්ඩායමට සහ සෞඛ්‍ය බලධාරීන්ට දැඩි දෝෂාරෝපණයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර ස්කොට්ලන්තය ඇතුළුව යුරෝපයේ රටවල් රැසකින් ඔමික්‍රෝන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් වාර්තා වී ඇති ඉන් ඇතැම් පුද්ගලයින් කිසිදු රටක සංචාරය නොකරන ලද පිරිස් වීමද විශේෂත්වයක් වනවා.