Saturday, April 27, 2024

General line - 0115112241

ම්ලෙච්ඡ ඝාතකයින්ට උපරිම දඬුවම් ලබා දෙන බවට පකිස්තාන අගමැතිගෙන් ජනපතිට සහතිකයක්




ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය සහ විශ්වාසය කිසිවිටෙකත් පළුදු වීමට ඉඩ නොතබන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා. 

පාකිස්තානයේදී ශ්‍රී ලාංකිකයෙකු ම්ලෙච්ඡ අයුරින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දුරකතන ඇමතුමක් ලබා දෙමින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 

මෙම ම්ලෙච්ඡ ඝාතන සිද්ධියට සම්බන්ධ සියලු අපරාධකරුවන්ට එරෙහිව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බවට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙහිදී සහතික වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

අදාළ ඝාතනයට සම්බන්ධ සියලු විඩියෝ දර්ශන සහ තොරතුරු මේ වන විට පාකිස්තාන ආරක්ෂක අංශ විසින් ලබාගෙන තිබෙනවා. 

සැකකරුවන් 120 දෙනෙකු මේවනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු පුද්ගලයින් සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක බව ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයා වෙත දුරකතන ඇමතුමක් ලබා දෙමින් සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙලෙස ඝාතනය කර තිබුණේ පාකිස්තානයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවය කළ ප්‍රියන්ත කුමාර නම් සාමාන්‍යාධිකාරීවරයෙක්. 

ගනේමුල්ල පොකුණ හංදිය ප්‍රදේශයේ පදිංචි ඔහු දීර්ඝ කාලයක් පාකිස්තානයේ සේවය කරමින් ඉතා ඉහල වෘත්තීය නිපුණත්වයක් පෙන්නුම් කළ  අයෙකු බවයි පකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා අමතමින් පෙන්වා දී ඇත්තේ. 

අපරාධකරුවන්ට දෙවියන් වහන්සේගෙන් සමාවක් නොමැති අතර නීතියෙන්ද ඔවුන්ට කිසිදු සමාවක් හිමි නොවන බවද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබෙනවා. සාධාරණය ඉටු කර වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙනු ඇති බවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව තබා ඇති විශ්වාසය උපරිමයෙන් තහවුරු කරන බවයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයා අමතමින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ අතර පාකිස්තානයේ සියල්කොට්හිදී අමානුෂික අයුරින් ඝාතනය කෙරුණු ශ්‍රී ලාංකිකයාගේ මෘත ශරීරය හෙට දිනයේ දිවයිනට රැගෙන ඒමට කටයුතු කරන බව පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා.