Friday, April 26, 2024

General line - 0115112241

සාමකාමී අරගලයට පහරදීමේ සිද්ධියට තවත් මන්ත්‍රීවරුන් 03 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගනියි




මැයි 09 වැනිදා ගාලු මුවදොර සහ කොල්ලුපිටියේ ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. එලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ රෝහිත අබේගුණවර්ධන, සී.බී රත්නායක සහ සංජීව එදිරිමාන්න යන මන්ත්‍රීවරුන්ගෙන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට රැගෙන එන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර, ගාලු මුවදොර සහ කොල්ලුපිටියේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් අටදෙනෙකු අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම පිරිස අතරට මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු සහ ඩෑන් ප්‍රියසාද් ද ඇතුලත්.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද දිවුරුම් දුන්නා. ඒ, ඉකුත්දා ඝාතනයට ලක්වූ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගෙන් පුරප්පාඩුවූ මන්ත්‍රී ධූරය සඳහායි. 

ඉකුත් 09 වනදා අරගල භූමියට පහරදීමේ සිද්ධියෙන් පසු නිට්ටඹුව ප්‍රදේශයේදී මෙම මන්ත්‍රීවරයා ඝාතනයට ලක්ව තිබුණා. ජගත් සමරවික්‍රම ඉකුත් මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ 05 වැනි ස්ථානය ලබාගත්තා.

මේ අතර අරගල භූමියට පහරදීමේ සිද්ධියෙන් පසු ඇතිවූ විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිලි 805 ක් ලැබී ඇති බවත්, ඊට අදාළව පුද්ගලයින් 883 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පැවසුවා. ඒ අතරින් 364 දෙනෙකුට ඇප නියම කර ඇති අතර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සංඛ්‍යාව 412 ක්.