Friday, April 26, 2024

General line - 0115112241

ඉන්ධන හිඟය පාස්පෝර්ට් කාර්යාලයේ සේවාවන්ටත් වැට බඳින ලකුණු




පවතින ඉන්ධන හිඟය හේතුවෙන් සිය දෛනික රාජකාරී කටයුතු පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවකයින් පවසනවා.
 
පසුගිය කාල සීමාව තුල ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා දෛනිකව එම දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන පුද්ගලයින් ගණන සැලකිය යුතු ලෙස ඉහළ ගියා. ඒ, මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ බොහෝ දෙනෙකු විදේශ ගත වීමට සුදානම් වීම හේතුවෙන්.
 
පවතින අවශ්‍යතා හදුනාගෙන එක් දින සේවය මඟින් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ධාරිතාව වැඩි කිරීමටද ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගත්තා. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ සේවකයන් දිනපතා සේවා මුර දෙකකට එම කාර්යාලය වෙත කැදවනු ලබනවා.  
 
පවතින ඉන්ධන හිඟය හේතුවෙන් රාත්‍රී සේවා මුර අවසන් කර යලි නිවෙස් වෙත යාමේදී දැඩි ගැටලු‍වකට මුහුණ පා ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ හේතුවෙන් සේවා මුර ක්‍රමය ක්‍රියාත්මක කරගෙන යාම ගැටළු සහගත බව එම සේවකයින් පෙන්වා දෙනවා. රාත්‍රී සේවා මුර අවසන් කර නිවෙස් බලා යන සේවකයින්ට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ප්‍රවාහන පහසුකම් ලබා දෙනවා.  

එහෙත් එම දෙපාර්තමේන්තුවේ රථ වාහනවලට ද ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ රැඳී සිටීමට සිදුවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි එම දෙපාර්තමේන්තවේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.