Friday, April 26, 2024

General line - 0115112241

හිටපු LTTE සාමාජිකයින්ගේ තොරතුරු රැස් කරයි




පුනරුත්තාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ තොරතුරු සහ වෛද්‍ය වාර්තා එක්රැස් කිරීමට උතුරු පළාත් සභාව සූදානම් වනවා.

පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී සත්‍යලිංගම් ප‍්‍රකාශ කළේ පුනරුත්තාපනය වු එල්.ටී.ටි.ඊ. සාමාජිකයින්ට විෂ එන්නත් ලබාදීමට පළ වන වාර්තා මුල්කර ගනිමින් වෛද්‍ය පරික්ෂණද ආරම්භ කළ බවයි.

විෂ එන්නත් කළ බව කියන සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට උතුරු පළාත් සභාවේදී යෝජනාවක්ද සම්මත කෙරුණා.

ඊට තොරතුරු ලබා ගැනීමේ අරමුණ ඇතිවයි මෙලෙස හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගෙන් තොරතුරු ලබා ගැනීම සිදු වන්නේ.

පුනරුත්තාපනය ලැබීමෙන් පසු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු කිසියම් හෝ රෝගයක් වෙනුවෙන් ප‍්‍රතිකාර ලබාගෙන ඇත්නම් ඊට අදාළ වෛද්‍ය වාර්තාද ලබා ගනු ඇති.

කිසියම් රෝගයක් වෙනුවෙන් ප‍්‍රතිකාර ලබා ගන්නේ නම් ඊට අදාළ තොරතුරු උතුරු පළාතේ සෑම දිස්ති‍්‍රක්කයකම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල වෙත ලබාදිය යුතු බවටද නිල දැනුම් දීමක් කර තිබෙනවා.

විෂ එන්නත් කිරීම හේතුවෙන් පුනරුත්තාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 107 දෙනෙකු හඳුනා නොගත් රෝගයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවට උතුරු පළාත් සභාව සම්මත කර ගත් යෝජනාවේ ඇතුළත්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වෛද්‍ය පරික්ෂණයක් පැවැත්විය යුතු බවටද යෝජනා සම්මත කර ගැනුනා.