Saturday, April 27, 2024

General line - 0115112241

ප්‍රදේශ රැසකට තද වැසි - නිල්වලා, කළු, මහවැලි ගංගා ආශ්‍රිත පහත්බිම්වල ගංවතුර තත්ත්වයක්




නිරිත දිග මෝසම සක්‍රීයවීම හේතුවෙන් ප්‍රදේශ රැසකට අද රාත්‍රියේ ද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණාරත්න පැවසුවේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ත් 100 ත් අතර තද වැසි ඇතිවිය හැකි බවයි. 

ඊයේ රාත්‍රියේ සිට පැවති අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ සහ කළුගඟ ද්‍රෝණියේ ඉහළ කොටසේ ගංවතුර අවදානමක් මතුව ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර පැවසුවේ. 

කළු ගඟ ද්‍රෝණියේ සහ මහවැලි ගඟ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශ ආශ්‍රිතව පදිංචි ජනතාව ද පවතින වැසි තත්ත්වය පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.  

අද රාත්‍රියේ ද වැසි ඇතිවුවහොත් නිල්වලා, කළු සහ මහවැලි ගඟ ආශ්‍රිත ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර වැඩිදුරටත් සඳහන් කළා. 

පවතින ආපදා හේතුවෙන් කිහිපයක රථවාහන ධාවනයට ද බාධා එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවා.    

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් ගාල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය, රත්නපුරය යන දිස්ත්‍රික්කවලට නායයාමේ පූර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.