Friday, April 26, 2024

General line - 0115112241

රැජින වෙනුවෙන් ලොව දිගුම පෝළිම ලන්ඩනයේ - අභ්‍යවකාශයටත් දිස්වන බවට වාර්තා




අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා තවදුරටත් බ්‍රිතාන්‍යය වැසියන් දිගු පෝළිම්වලට එක්වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා. 

මේවනවිට ලොව පවතින දිගුම පෝළිම එලිසබෙත් රැජිණට ගෞරව දැක්වීම වෙනුවෙන් ලන්ඩන් නුවර වීථි ඔස්සේ නිර්මාණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ලන්ඩනයේ තේම්ස් නදිය ආසන්නයේ ජනතාව පෝළිම් ගැසී සිටින අයුරු චන්ද්‍රිකා ඡායාරූපවලින් ද දිස්වෙන බව බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කළා. 

මේ අතර දිගු පෝළිම්වල රැඳී සිටින ජනතාව අතරට අද 03 වන චාල්ස් රජු සහ විලියම් කුමරු පැමිණි අතර ඔවුන් සාමාන්‍ය වැසියන් හමුවී සුහද කථාබහක ද නිරත වුණා. එලිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැය 15 කට අධික කාලයක් පෝළිම්වල රැඳී සිටින පුද්ගලයින් අතර එරට දේශපාලඥයින් ද වනවා. 

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය තේරේසා මේ, රාජකීය දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පෝළිමේ රැඳි සිටියේ සිය ස්වාමියා ද සමගයි. 

එමෙන්ම බ්‍රිතාන්‍යයේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් ද දෙවන එලිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැය 14 ක පමණ කාලයක් පෝළිමේ රැඳී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.