Saturday, April 27, 2024

General line - 0115112241

රුසියානුවන් කර්සන් නගරය හැර යාමේ සතුට යුක්‍රේන වැසියන් සමරයි




යුක්‍රේනයේ කර්සන් නගරය හැර ගිය වැසියන් එම නගරය වෙත යළි පැමිණෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය පැවසුවේ නගර වැසියන් රුසියානු හමුදාව පිටව යෑමේ සතුට සමරමින් සිටින බවයි.

බොහෝ පිරිසක් වීථිවලට එක්වී ඔල්වරසන් දෙමින් තාවකාලිකව හෝ තමන්ට ලද නිදහස භුක්ති විදිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුක්‍රේන - රුසියානු යුද්ධයේදී කර්සන් නගරය සැලකුණේ උපාය මාර්ගික වශයෙන් වැදගත් නගරයක් ලෙසයි.

මාස කිහිපයක් පුරා එහි බලය පතුරුවා සිටි රුසියානු හමුදාව ව්ලැද්මීර් පුටින්ගේ නියමයෙන් නගරය අතහැර ගියා. අනතුරුව යුක්‍රේන හමුදාව යළිත් කර්සන් නගරයේ බලය අත්පත් කරගත් අතර නගර වැසියන් සතුට සමරමින් සිටින්නේ එවන්නේ පසුබිමක් තුළයි. 

කෙසේවෙතත් ආසියානු සමුළුවකදී අදහස් දක්වමින් යුක්‍රේනයේ විදේශ අමාත්‍ය දිමිත්‍රි කුලේබා පවසා ඇත්තේ යුද්ධය දිගටම පවතින බවයි. රුසියානුවන් විසින් අත්පත් කරගත් කර්සන් නගරයේ මේ වන විට යුක්‍රේන ධජයන් ලෙල දෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.