Sunday, April 28, 2024

General line - 0115112241

මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

ටෝනි කරුණානායක




මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේදී එකම පවුලේ පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා  ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකරුවන් මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් නාමල් කොළඹගේ හමුවට පොලීසිය විසින් අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයකට අනුවයි.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ අදාළ සිද්ධියේ වෙඩික්කරු සහ ඔහුට පලායාමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු වනවා.  ගුවන් හමුදාවේ විශේෂ ගුවන් භට මෙහෙයුම් ඒකකයේ හිටපු කෝප්‍රල්වරයෙකු වන 38 හැවිරිදි සැකකාර වෙඩික්කරුව හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා අද දින ඔහු ආවරණය කර අධිකරණය හමුවට ඉදිරිපත් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඔහු ඉකුත් දා අත්අඩංගුවට ගනු ලැබුවේ අනුරාධපුර, පදවිය ප්‍රදේශයේ නිවසක රැදී සිටියදීයි. සැකකරුව අධිකරණ නියමයෙන් පැය හතලිස් අටක් මිනුවන්ගොඩ පොලිසියේ රඳවා තබා ගෙන විමර්ශනය කිරීමෙන් අනතුරුව අද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා. 

පසුගිය ඔක්තෝබර් 6 වනදා මිනුවන්ගොඩ ගමන් ගෙදර ප්‍රදේශයේ දී  පියකු සහ ඔහුගේ පුතුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණේ සරුංගලයක සිද්ධියක් මුල් කරගනිමින්. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකාරියක් ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.