Saturday, April 27, 2024

General line - 0115112241

රජ පවුලෙන් සුපිරි මෝටර් රථ ලබාදීමේ පුවත සෞදි පාපන්දු පිළ ප්‍රතික්ෂේප කරයි




ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ඉකුත් දා පැවැති තරගයේදී සුපිරි ආජන්ටිනා කණ්ඩායම පරාජයට පත් කළ සෞදි අරාබි කණ්ඩායමට එරට රජ පවුලෙන් ත්‍යාග ලෙස සුපිරි මෝටර් රථ පිරිනැමීම සම්බන්ධයෙන් පළ වු වාර්තා අසත්‍ය බව විදෙස් මාධ්‍ය පවසනවා.

මිට පෙර වාර්තා පළ වුණේ සෞදියේ ඔටුන්න හිමි කුමරුගෙන් සෞදි පාපන්දු පිළේ ක්‍රීඩකයින්ට රෝල්ස් රෝයි වර්ගයේ මෝටර් රථ ත්‍යාග වශයෙන් හිමිවන බවයි.

එහෙත් එවැනි කිසිඳු ත්‍යාගයක් ලබාදිමක් සිදුනොවන බවත්, තවත් තීරණාත්මක තරග 02 ක් පවතින බැවින් එවැනි කිසිඳු ත්‍යාගයක් ලබාගැනීමට මෙය අවස්ථාවක් නොවන බවත් සෞදි පාපන්දු පිළේ ප්‍රධාන පුහුණුකරු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම සෞදි පාපන්දු පිළේ ක්‍රීඩකයින් ද පවසන්නේ සිය කණ්ඩායම කටාර් රාජ්‍යයට පැමිණ සිටින්නේ රට වෙනුවෙන් සේවය කිරීමට බැවින් එය උපරිමයෙන් සිදු කිරීම නියම ත්‍යාගය බවයි. 


කෙසේවෙතත් සුපිරි ආජන්ටිනා කණ්ඩායම පරාජය කිරීම හේතුවෙන් සෞදි රජ පවුලෙන් එරට පා පන්දු කණ්ඩායමට සුපිරි මෝටර් රථ පිරිනමනු ඇතැයි පළමුව සිය සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ පකිස්තානු දන්ත වෛද්‍යවරයෙක් බව ද  විදෙස් මාධ්‍ය වාර්තා කළා.