Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් : ක්‍රීඩා ඇමති අධිකරණයට දැනුම් දෙයි




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සැකසීමට  පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඇතුළු පිරිසක් ගොනුකළ පෙත්සමත් කැඳවනු ලැබූ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා මෙම දැනුම් දීම සිදු කළා.

අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් මහතා ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා තාක්ෂණික කමිටුවකින් උපදෙස් ලබා ගන්නා බවයි.

නව ක්‍රිකට් ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට සමගාමීව ක්‍රීඩා පනත හා ඊට අදාළ ක්‍රීඩා රෙගුලාසි ද සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බවත් අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරයා දන්වා සිටියා.

නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මත මෙම කටයුතු සිදුවන බවද ඔහු කියා සිටියා. අනතුරුව පෙත්සම පෙබරවාරි මස 28 වනදා කැඳවීමට ද නියම වුණා.