Friday, April 26, 2024

General line - 0115112241

ජැෆ්නා කින්ග්ස් LPL දෙවැනි තරඟයත් ජය ගනී




ලංකා ප්‍රිිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ සිය දෙවන ජයග්‍රහණයත් ලබාගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කින්ග්ස් කන්ඩායම අද සමත් වුණා.

ඒ, හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දඹුල්ල ඕරා කණ්ඩායම සමඟ පැවති තරඟය කඬුලු 09 කින් ජය ගනිමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල ඕරා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඬුලු 09 ක් දැවී ලකුණු 121 ක් රැස් කළා.

එම කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියාවූ ජෝඩන් කොක්ස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 43 ක්.

සෙසු ක්‍රීඩකයින් කිසිවෙකුට ලකුණු 19 යේ සීමාව පසුකර යාමට හැකි වුණේ නැහැ. පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ විජයකාන්ත් වියස්කාන්ත් කඬුලු 03 බැගින් දවාගත්තා. 


ලකුණු 122 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පන්දුවාර 15 යි පන්දු 04 ක් අවසානයේ එක් කඬුල්ලක් පමණක් දැවී ලකුණු 122 ක් ලබාගනිමින් තරඟයේ ජය වාර්තා කළා.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 62 ක්.

අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියේ ලකුණු 51 ක් රැස්කර සිටියදීයි.

පළමු කඬුල්ල වෙනුවෙන් ලකුණු 118 ක විශිෂ්ඨ සබඳතාවක් ගොඩනැගීමට ඔවුන් දෙදෙනා සමත් වුණා.

තරඟයේ වීරයා සම්මානය දිනාගත්තේ සදීර සමරවික්‍රමයි.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමඟ ඊයේ පැවති පළමු තරඟය ලකුණු 24 කින් ජයගත්තේද ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමයි.