Tuesday, April 30, 2024

General line - 0115112241

රිය අනතුරක් නිසා ඉන්දීය කාන්තාවන්ගේ ආරක්ෂාව ගැන යළිත් ආන්දෝලනයක්




ඉන්දියාව තුළ කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යළිත් ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ, නවදිල්ලියේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන්.

20 හැවිරිදි තරුණියක් ඉකුත් අලුත් අවුරුදු දිනය දා අලුයම සිය කාර්යාලයේ පැවැති උත්සවයක් නිමවී නිවසට යාම සඳහා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී එම ආන්දෝලනාත්මක රිය අනතුර සිදුව තිබෙනවා.

අදාළ තරුණිය සමග ඇයගේ මිතුරියක් ද එම යතුරු පැදියේ ගමන් කර තිබුණා. අනතුරින් මියගිය 20 හැවිරිදි තරුණියගේ මිතුරිය විසින් යතුරු පැදිය ධාවනය කර ඇති අතර ඇය පසුපස ආසනයේ සිට තිබෙනවා. කෙසේවෙතත් අතරමගදී සිය මිතුරිය පසුපස අසුනට දමා අදාළ තරුණිය විසින් යතුරු පැදිය ධාවනය කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ඇය විසින් පැදවූ යතුරු පැදිය මෝටර් රථයක ගැටී ඇති අතර සුළු තුවාල ලැබූ යෙහෙළිය අදාළ ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා.

20 හැවිරිදි තරුණිය යතුරු පැදියෙන් ඇද වැටී එම මෝටර් රථයටම යටවී ඇති අතර මෝටර් රථයේ යට කොටසේ දැවටුනු ඇයගේ සිරුර කිලෝ මීටර් 13 ක පමණ දුරක් ඉදිරියට ඇදගෙන ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 

මෙම සිද්ධිය ඇසින් දුටුවන් මෝටර් රථය තුළ සිටි රියදුරා ඇතුළු පිරිසට ඒ බව සංඥා කර ඇතත් ඔවුන් කිසිඳු තැකීමකින් තොරව මෝටර් රථය ඉදිරියට ධාවනය කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට දැනුම්දිමට එ එක් පුද්ගලයෙක් කටයුතු කළ ද පොලීසිය ද ඒ සම්බන්ධයෙන් පැය 02 ක් පමණ ගතවන තුරු ක්‍රියාත්මක වී නොමැති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

කිලෝ මීටර් 13 ක් පමණ මෝටර් රථය සමග ඉදිරියට ඇදී ගිය තරුණියගේ සිරුර අනතුරුව මාර්ගයෙන් ඉවතට විසවී ගොස් තිබෙනවා. ඒ වනවිට ඇයගේ සිරුරේ ඇඳුම් පවා සම්පූර්ණයෙන්ම ඉවත් වී තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. මෙම සිද්ධිය සමග ඉන්දීය කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලොව පුරා යළිත් දැඩි කතාබහක් හටගෙන තිබෙනවා.