Wednesday, May 1, 2024

General line - 0115112241

රුසියානු හමුදා භටයින්ගේ දුරකථන සංඥා ඔස්සේ සොයා පැමිණි අමෙරිකානු රොකට් ප්‍රහාරය 




2023 නව වසර උදාවත් සමග සිය භට පිරිස් රැඳී සිටි ස්ථානයක් වෙත යුක්‍රේනය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කරනු ලැබූවේ ජංගම දුරකථන සංඥා හැරලා ලැබුණු තොරතුරු පදනම් කර ගනිමින් බවට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

යුක්‍රේනය විසින් එල්ල කරනු ලැබූ එම මිසයිල ප්‍රහාරයෙන් සිය හමුදා භටයින් 89 දෙනෙකු මිය ගිය බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ. යුක්‍රේන ආක්‍රමණයේදී මෙතෙක් සිය හමුදා සාමාජිකයින් වැඩිම පිරිසක් මියගිය බවට රුසියාව විසින් පිළිගත් පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙනවා.

යුක්‍රේනය විසින් මෙම ප්‍රහාරය සඳහා යොදා ගෙන තිබුනේ ඔවුන්ට අමෙරිකාව විසින් මෑතකදී ප්‍රධානය කරනු ලැබූ HIMARS රොකට් පද්ධතිය බවයි වාර්තා වන්නේ.

රුසියාව විසින් පාලනයට නතු කරගෙන ඇති යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ පිහිටි විද්‍යාලයකට මෙම මිසයිල ප්‍රහාරය එල්ල කරනු ලැබූ අතර ඒ වන විට එහි රුසියානු හමුදා භටයින් විශාල සංඛ්‍යාවක් රැඳී සිට ඇති බව සඳහන්.

නව වසර උදාවත් සමග රුසියානු භට පිරිස් තම අතැති ජංගම දුරකථන භාවිත කිරීමට ආරම්භ කිරීමත් සමග එම සංඥා උපයෝගී කර ගනිමින් යුක්‍රේන හමුදාව විසින් අදාළ ඉලක්කය වෙත මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.

සිය හමුදා සාමාජිකයින්ට තහනම් කරන ලද ජංගම දුරකථන භාවිතය හේතුවෙන් සතුරන්ට පහසුවෙන් ඉලක්කය සොයා ගැනීම හැකි වූ බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර දුරකථන භාවිතා කළ සොල්දාදුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි රුසියානු බලධාරීන් සඳහන් කර සිටින්නේ.

මියගිය අය අතර ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ පිහිටි රුසියානු හමුදා රෙජිමේන්තුවේ නියෝජ්‍ය අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් බචුරින් ද සිටින බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අද ප්‍රකාශ කර සිටියේ.

මේ අතර සිය මිසයිල ප්‍රහාරයෙන් රුසියානු සොල්දාදුවන් 400 ක් මිය ගිය අතර තවත් 300 ක් තුවාල ලැබූ බවයි යුක්‍රේනය සඳහන් කර සිටින්නේ.