Wednesday, May 1, 2024

General line - 0115112241

කොරෝනා මැද චීනය දේශ සීමා අරී - ලොව පුරා දහස් ගණනක් චීනයට




රට තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය දැඩි ලෙස පවතින පසුබිමක් තුළ චීනය අද සංචාරකයින් සඳහා සිය දේශසීමා විවෘත කළා. කොරෝනා වසංගතයේ ආරම්භය හමුවේ චීනය විදෙස් සංචාරකයින් සඳහා සිය දේශසීමා වසා දැමුවේ 2020 වසරේ මාර්තු මාසයේදීයි.

ඒ අනුව අද සිට විදේශීය සංචාරකයින් සඳහා නිරෝධායනයට යොමුවීමෙන් තොරව චීනයට ඇතුළු විය හැකි වනවා. සීමා ඉවත් කිරීමෙන් පසුව චීනයට ඇතුළුවන බොහෝ පිරිසක් සිය පවුලේ සාමාජිකයින් හෝ නෑදෑ හිතවතුන් දැකීමට පැමිණෙන පුද්ගලයින් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඒ අනුව චීනයේ බීජිං ඇතුළු නගර රැසක පිහිටි ගුවන් තොටුපළවල දිගු පෝළිම් දැකිය හැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මේ අතර චීන වැසියන් බොහෝ දෙනෙකු ද විදෙස් සංචාර සඳහා සූදානමින් පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහෙත් රට තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ චීනයෙන් පැමිණෙන සංචාරකයින් සඳහා රටවල් රැසක් සංචාරක සීමා පනවා තිබෙනවා.