Wednesday, May 1, 2024

General line - 0115112241

බ්‍රසීල ජනපතිට එරෙහි විරෝධතාකරුවන් රජයේ ගොඩනැගිලිවලට කඩාවදී




බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාට එරෙහිව විරෝධතා මාලාවක් ආරම්භ වී තිබෙනවා.

ඒ, බ්‍රසීල ජනාධිපතිවරයා ලෙස තුන්වන වරටත් ඔහු දිවුරුම්දී සතියක කාලයක් ඉක්මවා යාමටත් පෙරයි.

ඉකුත් ඔක්තෝම්බර් මාසයේ පැවති බ්‍රසීල ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ හිටපු ජනාධිපති ජේ්ර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් එම විරෝධතාවලට එක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 


මැතිවරණ ප්‍රතිඵලය ප්‍රතික්‍ෂේප කරන හිටපු ජනාධිපති බොල්සොනාරෝගේ ආධාරකරුවන් බ්‍රසීල ජාතික කොංග්‍රස ගොඩනැගිල්ලට සහ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට ඇතුළුවී එහි දේපළවලටද හානි සිදුකර තිබෙනවා.

බ්‍රසීල ජාතික ධඡයේ වර්ණවලින් සැරසී සිටි විරෝධතාකරුවන් එරට ජනාධිපති මන්දිරය ආසන්නයේද විරෝධතාවල නිරත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විරෝධතාකරුවන් පලවා හැරීම සදහා එරට ආරක්‍ෂක අංශ කදුළු ගෑස් ප්‍රහාරද එල්ල කර තිබෙනවා. විරෝධතාකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා ප්‍රකාශ කර ඇත්තේ. 


ඉකුත් ඔක්තෝම්බර් මාසයේ පැවති බ්‍රසීල ජනාධිපතිවරණයෙන් සියයට 50 යි දශම 9 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ලූලා ද සිල්වා තුන්වන වරටත් එරට ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණා.

ලූලා ද සිල්වා 2003 - 2010 කාලය තුලදී දෙවරක් බ්‍රසීල ජනාධිපතිධූරය දරා තිබෙනවා.


දූෂණ සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ලූලා ද සිල්වාට බ්‍රසීල අධිකරණයක් මඟින් මීට වසර කිහිපයකට පෙර සිර දඬුවමක්ද නියම කර තිබුණා.

ඔහු පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවති බ්‍රසීල ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ වසර දෙකකට ආසන්න කාලයක් සිර දඬුවම් විදීමෙන් පසුවයි.