Monday, May 6, 2024

General line - 0115112241

දීර්ඝ විදුලි කප්පාදුවක් හා ඉන්ධන පෝලිම් අතළඟ




ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවීම් පැහැර හැරිය හොත් හා ගාස්තු සංශෝධනයක් නොකළ හොත් විදුලි කප්පාදුව අනිවාර්යෙන්ම දීර්ඝ කිරීමට සිදුවන බව රජය පවසනවා.

එමෙන්ම විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් ලබාගත් ඉන්ධනවලට මුදල් නොගෙවීම හරහාද නැවත වරක් රටපුරා ඉන්ධන පෝලිම් නිර්මාණය වනු ඇති බවයි රජය පෙන්වා දෙන්නේ. ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය ජනවාරි 15වනදා වනවිට විවිධ ආයතන සඳහා රුපියල් බිලියන 333කට අධික මුදලක් ගෙවීමට සිදුව තිබුණා.

ඉන් වැඩිම මුදල වන රුපියල් බිලියන 106ක් ගෙවීමට තිබුණේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබා ගත් ඉන්ධන සඳහායි. ගල් අඟුරු සඳහාද රුපියල් බිලියන 71කට අධික මුදලක් ගෙවීමට තිබෙන බවයි රජය පෙන්වා දෙන්නේ. තවත් රුපියල් බිලියන 85ක් ගෙවීමට ඇත්තේ පෞද්ගලික බලාගාර වලින් ලබා ගත් විදුලිය සඳහායි.

පුනර්ජනනීය සැපයුම්කරුවන්ගෙන් ලබා ගත් විදුලියට රුපියල් බිලියන 40ක මුදලක්ද ලංකා විදුලි බල මණ්ඩලය විසින් ගෙවිය යුතු වනවා.

ලංකා විදුලිබල මණ්ඩලය මේ මොහොතේ බැංකුවලින් ලබාගෙන ඇති ණයවලට සහ පියවීමට ඇති බිල්පත්වලට අධික පොලියක් ගෙවීමටද සිදුවනවා. ඒ අනුව බැංකුවලින් මේ මොහොතේ ලබා ගන්නා සහ ඉදිරියේදී ලබා ගන්නා ණය වෙනුවෙන් සියයට 30ත් 34ත් අතර පොලියක් ගෙවීමට සිදුවන බවයි රජය පෙන්වා දෙන්නේ.     

මේ අතර පසුගිය ජුනිමස 30වන දින විදුලි බල මණ්ඩලය ගාස්තු සංශෝධනය සඳහා මහජන උපයෝගිතා කොමිසමෙන් කළ ඉල්ලීමට අනුව ගාස්තු සංශෝධනයක් සිදු කෙරුණා.

ඒ අනුව විදුලි උත්පාදන වියදම ලෙස වසරකට රුපියල් බිලියන 800 ක් ඇස්තමේන්තු කර තිබූ අතර තිබුණු ගාස්තු අය ක්‍රමය මඟින් ලබා ගැනීමට හැකි වූයේ රුපියල් බිලියන 230ක් පමණයි. ගාස්තු සංශෝධනයෙන් පසු එම මුදල රුපියල් බිලියන 450ක් දක්වා වර්ධනය වුවද තවත් රුපියල් බිලියන 300ක අඩුවක් පවතින බවයි රජය පෙන්වා දෙන්නේ. 

මේ අතර ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූයේ නෙත් එෆ් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදීද විදුලි බිල සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. මේ එහිදී අදහස් පළ කළ ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදයේ සභාපති ටානියා එස් අබේසුන්දර.

එම සංසදයේ නියෝජ්‍ය සභාපති සුසන්ත ලියනාරච්චිද ඊයේ රාත්‍රියේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක් වුණා.