Saturday, April 27, 2024

General line - 0115112241

බිංගිරියේදී අත්අඩංගුවටගත් අධිබල පුපුරණද්‍රව්‍ය ලොරියේ පරීක්ෂණ TID යට




බිංගිරිය, විලත්තව පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත් අධිබලැති පුපුරණද්‍රව්‍ය සහිත ලොරි රථය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වයඹ පළාත් වැඩබලන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න දැනුවත් කිරීමෙන් අනතුරුවයි ඒ පිළිබඳ වැඩිදුර විමර්ශණ ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය වෙත භාරදී ඇත්තේ.

විලත්තව පොලිස් මාර්ග බාධකයේදී අදාළ අධි බලැති පුපුරණද්‍රව්‍ය ප්‍රවාහනය කළ ලොරිය පිළිබඳ එම මාර්ග බාධකයේ රාජකාරී කළ පොලිස් කොස්තාපල් 72272 ප්‍රභාත්ට සැක මතුවී ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඉන් අනතුරුව කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්තගේ සහ බිංගිරිය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක හැරිසන් හේමසිරිගේ උපදෙස් පරිදි එම මාර්ග බාධකයේ සේවය කළ සැරයන් 49141 ජූඩ් සම්පත් විසින් ලොරි රථය පරීක්ෂා කර තිබෙනවා.

එහි රහසිගත කුටියක සඟවා තිබූ අධි බලැති පුපුරණද්‍රව්‍ය ඇසුරූ ප්ලාස්ටික් බට 89 ක්, අඩි 80 බැඟින් දිගින් යුත් සේවා නූල් 21 ක්, ඩෙටනේටර් 900 ක් ඇසුරූ පෙට්ටි 09 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

එම ලොරි රථයේ සිටි සැකකරුවන් දෙදෙනා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් පළමුව ප්‍රකාශ කර ඇත්තේ අදාළ අධිබලැති පුපුරණද්‍රව්‍ය තොගය මන්නාරම ප්‍රදේශයේ සිට කොළඹ දක්වා රැගෙන යන බවයි. ඉන් අනතුරුව සැකකරුවන් ප්‍රකාශ කර ඇත්තේ කුරුණෑගල සිට මන්නාරම දක්වා ඒවා රැගෙන යන බවයි.

ඔවුන්ගෙන් වසන්ත කුමාර රෝයි ජෝර්ජ් නමැති සැකකරු මීට පෙරද පුපුරණද්‍රව්‍ය තොගයක් සමඟ පොලීසිය විසින් අත්අඩගුවට ගෙන ඇති බව විමර්ශණවලදී අනාවරණවී තිබෙනවා. අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3 ක් සමඟ මීට පෙරද අත්අඩංගුවට ගැණුනු එම සැකකරුට එරෙහිව නඩු පවරා ඇති බවද අනාවරණයවූ බවයි පොලීසිය පැවසුවේ.

බිංගිරිය, විලත්තව පොලිස් මාර්ග බාධකයේ අධිබලැති පුපුරණද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකිරීම සඳහා ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් එම ප්‍රදේශයට ගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.

මේ අතර අදාළ ලොරිය සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට පොලිස්පති ප්‍රශංසා සහ ත්‍යාග මුදල් ලබාදීමට පියවර ගන්නා ලෙසට පොලිස්පතිවරයා දැනුම්දී තිබෙනවා.