Wednesday, February 5, 2025

General line - 0115112241

පැය 24ම වැඩ - දිනකට පාස්පෝට් 4,000ක් දෙන්න සූදානම්




විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව විසඳීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. 

එහි අරමුණ වන්නේ දිනකට විදෙස් ගමන් බලපත්‍ර 4,000ක් නිකුත් කිරීමයි.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එම සේවය ලබාදීමට අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව මත එම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලබා ඇති නිලධාරීන්, කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීමට නියමිතව ඇති බවයි.

මේ අතර, පොල් ගෙඩි මිලියන 200ක් ආනයනයට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 

ඒ අනුව පොල් ගෙඩි මිලියන 200කට සමාන ධාරිතාවකින් යුත් පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණයක් සහ පොල් තෙල් නිෂ්පාදනය සඳහා වියළන ලද කුරුට්ට සහිත පොල් ආනයනය කිරීමටයි අවසර හිමිව ඇත්තේ.

මේ අතර, මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකට අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබා දුන්නා. එහිදී ඔහු කියා සිටියේ රටේ තිබෙන ආර්ථික තත්ත්වයද සලකා වත්මන් ආණ්ඩුව යටතේ මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි. 

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ නීතිපතිවරයා ලබා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බවයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.

විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර හුවමාරු පත්‍ර සහ ශ්‍රී ලංකා රජය හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් ජයිකා අතර සංශෝධන ගිවිසුම අත්සන් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.