Friday, April 26, 2024

General line - 0115112241

කඩා වැටුණු ගොඩනැගිලි තුල සිරවූ පුද්ගලයින් උදව් ඉල්ලයි - සහන සේවකයින් දැඩි සටනක (VIDEO)




තුර්කියේ ගිණිකොන දිග ප්‍රදේශයට බලපෑ මැග්නිටියුඩ් ඒකක 7 යි දශම 8 ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පිරිස තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ භූ කම්පනයේ බලපෑමෙන් මේවනවිට තුර්කියෙන් මරණ 2,921 ක් සහ තුවාල කරුවන් 15,000 ක් පමණ වාර්තා වන බවයි. සිරියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 1,444 ක් වනවා. ඒ අනුව මේ දක්වා වාර්තා වී  ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 4365 ක්. 

ඊයේ රාත්‍රිය පුරාවට ද සහන සේවකයින් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. මේවනවිටත් එම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. හිම පතනය හා සීත කාලගුණය හමුවේ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

භූමි කම්පාව හේතුවෙන් සිය නිවෙස් විනාශ වූ ඇතැම් පුද්ගලයින් පවුල්වල සාමාජිකයින් පිළිබඳ තොරතුරු සොයා තවදුරටත් ඒ ආසන්න ස්ථානවල රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඇතැම් විදෙස් මාධ්‍ය පැවසුවේ සහන සේවකයින්ගේ පැමිණීම හා මුදා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද බවට තුර්කියේ ආපදාවට ලක්වූ ඇතැම් ප්‍රදේශවල වැසියන් චෝදනා කරන බවයි. සුන්බුන් අතර සිරවී සිටින පිරිස් උදව් ඉල්ලා කෑ ගසන හඬ ඇසෙන නමුත් ඔවුන් මුදා ගැනීම සඳහා තවමත් නොහැකි වී ඇති බවයි ඔවුන් චෝදනා කරන්නේ. 

කෙසේවෙතත් සහන සේවා කටයුතු සඳහා රටවල් 65 කින් 2600 ක පමණ පිරිසක් මේවනවිටත් තුර්කියට එවා ඇති බවයි තුර්කි බලධාරින් සඳහන් කලේ. ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් තුර්කියට අමෙරිකානු ඩොලර් මිලියන 6 ක මූල්‍ය ප්‍රදානයක් ලබාදීමට චීනය ඉදිරිපත්ව සිටිනවා.