Tuesday, April 30, 2024

General line - 0115112241

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 24ක ජල කප්පාදුවක්




කොළඹ ප්‍රදේශ කිහිපයක අද පස්වරු 2 සිට හෙට පස්වරු 2 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ ඒ අනුව, කොළඹ 1 සිට 4 දක්වා, කොළඹ 7 සිට 11 දක්වා, කඩුවෙල නගරය හා අවට, කොළොන්නාව නගර සභා ප්‍රදේශය, වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

මාළිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජලනළ පද්ධතියට අදාළව ව්‍යාපෘති මඟින් සිදු කරනු ලබන අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුතු හේතුවෙන් එම ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනවා. 

සිදු කෙරෙන අත්‍යාවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුතු හේතුවෙන් වැල්ලම්පිටිය මංසංධියේ සිට කොළොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය වසා තැබෙනවා. ඒ, අද පෙරවරු 9 සිට හෙට මධ්‍යහ්න 12 දක්වායි.

මේ හේතුවෙන් කොළඹට ඇතුළුවන රථ වාහන අවිස්සාවේල්ල මාර්ගයේ කොටිකාවත්ත මංසංධියෙන් වමට හැරී ගොතටුව නගරයෙන් කොළොන්නාව හරහා දෙමටගොඩ දෙසට ගමන් කළ හැකි බවයි පොලිසිය පැවසුවේ.

කොළඹින් පිටවන රථවාහන දෙමටගොඩ , කොළොන්නාව මාර්ගයේ කොළොන්නාව මංසංධියෙන් දකුණට හැරී ගොතටුව නගරයෙන් වමට හැරී කොටිකාවත්ත නගරයෙන් දකුණට හැරී අවිස්සාවෙල්ල කොළඹ මාර්ගයට ගමන් කළ හැකි වනවා.

එමෙන්ම, දෙමටගොඩ, කොළොන්නාව මාර්ගයේ කොළොන්නාව තෙල් සංස්ථාව අසලින් වමට හැරී මීතොටමුල්ල මාර්ගය ඔස්සේ නැවතත් අවිස්සාවේල්ල , කොළඹ මාර්ගයට ගමන් කළ හැකි බවයි පොලිසිය පැවසුවේ.