Tuesday, April 30, 2024

General line - 0115112241

ජලය පානය කිරීමට ඔබ භාවිතා කරන්නේ ප්ලාස්ටික් බෝතලයක් ද ? එසේනම් මෙය කියවන්න 




ජලය පානය සඳහා ප්ලාස්ටික් බෝතල් යොදා නොගන්නා ලෙසත් ඒ වෙනුවට විදුරු හෝ ලෝහ බෝතල් යොදා ගන්නා ලෙස වෛද්‍ය විශේෂඥවරුන් නිර්දේශ කර සිටිනවා. ඒ කුඩා ප්ලාස්ටික් අංශු මගින් මිනිස් ජිවිත වලට එල්ල විය හැකි හානිය අවම කර ගැනීම සඳහායි.

රෝමයේ Tor Vergata විශ්ව විද්‍යාලයේ හිස්ටොලොජි සහ කළල විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය Luisa Campagnolo පසුගියදා අනතුරු අඟවා සිටියේ ක්ෂුද්‍ර සහ නැනෝ ප්ලාස්ටික් අංශු මිනිස් පටක තුළට ඇතුල්වන වන බවට සාක්ෂි හමුවෙමින් පවතින බවයි.

අන්වීක්ෂ ආධාරයෙන් සිදුකළ අධ්‍යනයකින් හෙළිවී තිබුනේ මෙම ප්ලාස්ටික් අංශු මිනිස් රුධිර ප්‍රවාහයට මෙන්ම ගර්භනී මව්වරුන්ගේ වැදෑමහට පවා ඇතුල්වීමට හැකියාව ඇති බවයි. 

කෙසේ වුවත් "විද්‍යාවේ දියුණුව සඳහා වූ ඇමරිකානු සංගමයේ" වාර්ෂික සමුළුවේදී මීයන් යොදා ගනිමින් සිදුකළ නව අධ්‍යයන වාර්තාවක් එළිදක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ප්ලාස්ටික් අංශු කලලයක් තුලට පවා ඇතුල් වීමට හැකියාව පවතින බවයි.

මිනිස් පටක විනිවිද යන ප්ලාස්ටික් අංශු ඇතැම් හෝමෝන නිෂ්පාදනයට බලපෑම් කළ හැකි අතර එම නිසා ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් අඩාල කළ හැකි බව පෙර පර්යේෂණ මගින් හෙළි කර ඇත.

මිනිස් සෞඛ්‍යයට ප්ලාස්ටික් අංශු වල බලපෑම පිළිබඳ පර්යේෂණ තවමත් ප්‍රාථමික අවධියේ පවති. කෙසේ වුවත් එමගින් සිදුවිය හැකි අනතුරු පිළිබඳ නිගමනවලට නොපැමිණීම වැදගත් වන අතර, අපගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා අප සැමට ගත හැකි සරල පියවර ඇති බවයි වෛද්‍ය ලුසියා කැම්පග්නොලෝ පවසා සිටින්නේ.

ඉවත දැමිය හැකි ප්ලාස්ටික් බෝතල් තුලින් මෙම අංශු මුදා හැරිමේ හැකියාව පවතින බවත් විශේෂයෙන් එම බෝතල් හිරු එළියට නිරාවරණය වීමේදී එම තත්ත්වය අධික බවයි වෛද්‍යවරුන් පවසන්නේ. එම බෝතල් වලින් ජලය පානය කිරීමේදී එම ප්ලාස්ටික් අංශු පහසුවෙන් මිනිස් සිරුරට ඇතුල්වීමට හැකියාව පවතින බවයි ඔවුන් අදහස් කර සිටින්නේ.

වෛද්‍ය ලුසියා කැම්පග්නෝලෝ ප්‍රකාශ කර සිටින්නේ වඩාත් හොදම ක්‍රමය නම් ජනතාව හැකිතාක් ප්ලාස්ටික් බෝතල් උපයෝගී ජලය පානය කිරීම අත්හැරීම මෙම අවදානමෙන් මිදීමට ඇති හොදම විසඳුම බවයි.

නිව් ජර්සි හි රට්ගර්ස් විශ්ව විද්‍යාලයේ නැනෝ විද්‍යාව සහ පාරිසරික ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ෆිලිප් ඩෙමොක්‍රිටෝ පැවසුවේ සත්ව අධ්‍යයනයෙන් මෑත කාලීන සොයාගැනීම් 'ඉතා භයානක' බවයි.

නැනෝමැටීරියල්ස් සඟරාවේ පසුගිය මාසයේ ප්‍රකාශයට පත් කරන ලද මීයන් පිළිබඳ ඔහුගේ අධ්‍යයනය මගින් ආහාරයට ගන්නා ප්ලාස්ටික් අංශු කලලයකට සම්ප්‍රේෂණය වන බවට වන පළමු සාක්ෂිය හෙළිකර සිටියා.

" සෑම පුද්ගලයෙක්ම සතියකට ක්ෂුද්‍ර හා නැනෝ ප්ලාස්ටික් ග්‍රෑම් 5ක් පමණ පරිභෝජනය කරයි. එය සතිපතා ඔබේ බඩට යන ක්‍රෙඩිට් කාඩ්පතකට සමානයි. නුමුත් අපට නැවත ගල් යුගයට යා නොහැකි. ඒ වුවද, සමාජයක් ලෙස මෙවැනි අර්බුද මඟහරවා ගැනීමට අප වඩාත් බුද්ධිමත් විය යුතුයි, තිරසාර සංකල්ප සොයා ගත යුතුයි. අපි සියලු දෙනා, විද්‍යාඥයින්, මහජනතාව, විශාල වශයෙන් සමාජය, නියාමකයින්, අපි පොදුවේ ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ආකාරය සහ භාවිතා කරන ආකාරය ගැන නැවත සිතා බැලිය යුතුයි.'  විශේෂඥ වෛද්‍ය ෆිලිප් ඩෙමොක්‍රිටෝ ප්‍රකාශ කර සිටියා.