Wednesday, May 1, 2024

General line - 0115112241

දෙමළ දේශපාලඥයින් බාධා කළ කුරින්දි රජමහා විහාරස්ථානයේ වැඩ අවසන්

මාධව කුලසූරිය




දෙමළ දේශපාලඥයින් හා සිවිල් සංවිධාන රැසකගෙන් බාධා එල්ල වූ මුලතිව්, කුරින්දි රජමහා විහාරස්ථානයේ දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර තිබෙනවා.

එම රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සාන්තබෝධි නාහිමියන් පැවසුවේ යුද සමයේ කැළෑවෙන් වැසී තිබිමෙන් අනතුරුව විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2021 ජනවාරි 18 වැනිදා ආරම්භ කළ බවයි. එහෙත් ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමත් සමඟ දෙමළ දේශපාලඥයින් හා සිවිල් සංවිධාන රැසක් ඊට විරෝධය පළ කරමින්, දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු වළක්වාලන ලෙසට ඉල්ලමින් මුලතිව් අධිකරණය හමුවේ නඩුවක්ද ගොනු කළා.

ඉන් අනතුරුව අධිකරණය විසින් විහාරස්ථාන භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නියමයන් මත ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලෙසට දැනුම් දුන් බවයි කුරින්දි රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සාන්තබෝධි නාහිමියන් පැවසුවේ.

එවන් පසුබිමක් තුළ විහාරස්ථාන දාගැබේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණයට පසුගිය දින කිහිපයේදීද දෙමළ දේශපාලන නියෝජිතයින් පිරිසක් විහාරස්ථාන භූමිය වෙත පැමිණ තිබුණා. 

යුද සමයේ කුරින්දි රජමහා විහාරස්ථාන භූමිය එල් ටී ටී ඊ පාලන සීමාවේ පැවතියා. මුලතිව් දෙමළ ජනතාව පවසා තිබුණේ එම භූමියේ ශිව කෝවිලක් පවතින බවයි. මේ හේතුවෙන් විහාරස්ථාන දාගැබ ඉදිකිරීමේදී බාධාවන් රැසක් හටගත් බවයි විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සාන්තබෝධි නාහිමියන් පැවසුවේ.

ක්‍රිස්තු වර්ෂ පළමු සියවසට අයත් විහාරස්ථානයක් ලෙස කුරින්දි විහාර සංකීර්ණය සැළකෙනවා. මෙරටට දළදා වහන්සේ වැඩමවු අවස්ථාවේ කුරින්දි විහාර සංකීර්ණයේ දළදා වහන්සේ තාවකාලිව තැන්පත් කර ඇති බවටයි පුරාවිද්‍යා ගවේෂකයින් පවසන්නේ.