Tuesday, September 17, 2024

General line - 0115112241

හරක් කටා සහ කුඩු සළිඳු දිවයිනට රැගෙන එයි 

ටී.කේ.ජී.කපිල




විදේශයන්හි රැදී සිටිමින් ශ්‍රී ලංකාව තුළ අපරාධ කටයුතු මෙහෙයවමින් සිටි පාතාල කල්ලි නායකයින් වන "හරක් කටා" සහ "කුඩු සළිදු"  අද දින උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබෙනවා.

මොවුන් අද දින උදෑසන 07.10 ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබු බවයි අප නෙත් නිවුස් ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

මොවුන්ගේ ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ඇතුළු අත්‍යාවශ්‍ය රාජකාරී ගුවන් යානය අසළදීම සිදු කර කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය ඔස්සේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණා.

එසේම මෙම අපරාධ කල්ලි නායකයින් දෙදෙනා රැගෙන මැඩගස්කර් රාජ්‍යයේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණ තිබූ අතර එම නිලධාරීන්  ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත පැමිණ, ලිඛිතව නිල වශයෙන් මොවුන්  භාර දීම සිදු කර තිබුණි .

මොවුන් දෙදෙනා භාර ගැනීම සදහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු, සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් වාහන 06 කින් පමණ කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම සිදුවීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ තුළ ඒ අවට ප්‍රදේශයේ සහ ඔවුන් කොළඹ බලා රැගෙන යන මාර්ගය දෙපස දැඩි ආරක්ෂාවක් යොදා තිබුණා.