Friday, May 17, 2024

General line - 0115112241

මුහුද මැද නාවික හමුදාව විශේෂ මෙහෙයුමක්




යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 428 කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ඩිංගි යාත්‍රාව තුල තිබූ පාර්සල් 195 ක එම කේරළ ගංජා තොගය අසුරා තිබූ බවයි නාවික හමුදාව පැවසුවේ.

එලෙස සොයාගෙන ඇති කේරළ ගංජා තොගයයේ වටිනාකම රුපියල් මිලියන 141 ක්.

කන්කසන්තුරය වරායට රැගෙන ආ එම කේරළ ගංජා තොගය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ නිරීක්‍ෂණයටද ලක් වූ අතර නාවික හමුදාපතිවරයා මෙහෙයුම සිදුකල භට කණ්ඩායම වෙත එහිදී සිය ප්‍රශංසාව පල කළා.

එහිදී අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් දෙදෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලිසිය වෙත භාරදුන් බවයි නාවික හමුදාව පැවසුවේ.


මේ අතර තලෙයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය  කිලෝ ග්‍රෑම් 04 කට අධික තොගයක් සිය භාරයට ගත් බව නාවික හමුදාව පැවසුවා.

එම අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 67යි දශම 5 කට අධිකයි. වෙරළ කලාපයේ සිදුකරන නිරන්තර සෝදිසි මෙහෙයුම් හමුවේ  ජාවාරම්කරුවන් විසින් එම අයිස් මත්ද්‍රව්‍ය තොගය මුහුදේ අතහැර දමා පලා යන්නට ඇති බවටයි නාවික හමුදාව සැක පළ කරන්නේ.