Thursday, May 2, 2024

General line - 0115112241

සංචාරයක් සඳහා එන්නැයි යුක්ක්‍රේනයෙන් ඉන්දීය අගමැතිටත් ආරාධනයක්




යුක්රේනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරිය වන එමිනේ එරව්නා ඉන්දියාවේ සංචාරයකට සූදානම් වනවා. ඉන්දීය මාධ්‍ය පැවසුවේ සිව්දින නිල සංචාරයක් ආරම්භ කරමින් ඇය ලබන සඳුදා ඉන්දියාවට පැමිණීමට නියමිත බවයි.

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් මෙන්ම යුක්රේන යුද්ධයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම සංචාරයේදී යුක්රේනයේ විදේශ අමාත්‍යවරිය ඉන්දියාවෙන් මානුෂීය ආධාර ඉල්ලා සිටිනු ඇතැයි අපේක්ෂිතයි.

ඊට අමතරව රුසියාව දියත් කළ ආක්‍රමණයේදී හානියට පත් යුක්රේනයේ බලශක්ති ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීම සඳහා ඉන්දියාවෙන් උපකරණ ලබා ගැනීමට ද අමාත්‍යවරිය සිය සංචාරයේදී අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම යුක්රේනයේ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරිය සිය ඉන්දීය සංචාරය අතරතුරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හට යුක්රේනයේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි ආරාධනා කරනු ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව මේ වනවිටත් බටහිර සහ යුරෝපා රටවල් කිහිපයකම රාජ්‍ය නායකයින් සහ විදේශ අමාත්‍යවරුන් යුක්රේනයට පැමිණ තිබෙනවා.