Thursday, May 2, 2024

General line - 0115112241

දොළවත්ත ගෙන ආ පනත් කෙටුම්පතකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්




පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, විශ්‍රාමික යුද හමුදා බි්‍රගේඩියර්වරයෙකු වන කේ. අතුල එච් ද සිල්වා, ශෙනාලි ඩී වඩුගේ සහ ජෙහාන් හමීඩ් යන අය විසින්. එහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ වගඋත්තරකාර ප්‍රේමනාත් සී දොලවත්ත මන්ත්‍රීවරයා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කර තිබෙන අදාළ පනත් කෙටුම්පත තුළින් සමලිංගික ක්‍රියාකාරකම් අපරාධමය නොවන වරදක් වශයෙන් අර්ථකථනය කිරීමට උත්සාහ කර ඇති බවයි.

ඒ තුළින් එම ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමක් සිදුවන බවද පෙත්සම්කරුවන් පෙන්වාදෙනවා.

එය දණ්ඩ නිති සංග්‍රහය පිළිබඳව ව්‍යවස්ථාදායකයේ අපේක්ෂාවන්ට පටහැනි  බවත්, ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන බරපතල ලෙස උල්ලංඝනය වන බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

බෞද්ධ, හින්දු, කිතුනු හා ඉස්ලාම් ආගමික විශ්වාසයන් අනුව පවා සමලිංගික කටයුතු අනුමත කිරීමක් සිදුකර නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් එබැවින් යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදන එම ආගමික විශ්වාසයන්ට පටහැනි බවයි පෙත්සම තුළින් පෙන්වාදී ඇත්තේ.

එමෙන්ම අදාළ පනත් කෙටුම්පත මඟින් අපේක්ෂා කරන කරුණු මෙරට සංස්කෘතික හා ජාතික අනන්‍යතාවයන්ට පටහැනි බවද පෙත්සම්කරුවන් පෙන්වා දී තිබෙනවා.

යෝජිත පනත් කෙටුම්පත අන්තර්ගත ප්‍රතිපාදනවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.