Sunday, May 19, 2024

General line - 0115112241

ලොවක් බලා සිටින IPL අවසන් මහා තරගයේ ශ්‍රී ලංකා තරු 03ක්




ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ අවදානය යොමුව ඇති ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රීමියර් ලීග් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටිනවා.

පිතිකරුවන්ට වැඩි හිතකරතාවයක් දක්වන අහමදාබාද් නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගනයයේ තණ තීරුව නව පන්දුවේදී පන්දු යවන්නට වාසි ගෙන දෙනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.

මෙම ක්‍රීඩාංගනයේ දී මේ දක්වා අයිපිඑල් තරග 26ක් ක්‍රීඩා කර ඇති ඇතර එහිදී වාර්තා කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 8,365ක් වේ.

නරේන්ද්‍ර මෝදී ක්‍රීඩා පිටියේදී අයිපිඑල් තරගයකදී කණ්ඩායමක් වාර්තා කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 227ක් වන අතර, කණ්ඩායමක් වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව 102ක් වේ.

ලෝක ලීග් ක්‍රිකට් පිටියේ ප්‍රධානම තරගාවලිය ලෙස සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මෙරට ක්‍රිකට් ලෝලීන්ට වැදගත් වන්නේ අද තරග වදින කණ්ඩායම් දෙකෙහිම ශ්‍රි ලංකා ක්‍රීඩකයින් ද ඇතුළත්ව සිටින බැවින්.

ඒ අතරින් මෙවර තරගාවලියේ වැඩිම කතාබහකට ලක්වූ නවක දක්ෂයින් අතර ඉදිරියෙන්ම සිටින මතීශ පතිරණ, චෙන්නායි කණ්ඩායම නියෝජනය කරනවා.

මෙවර තරගාවලියේදී පන්දුවෙන් දස්කම් දැක්වූ මහීශ් තීක්ෂණ ද නියෝජනය කරන්නේ චෙන්නායි කණ්ඩායමයි. 

ඔවුන් දෙදෙනාම චෙන්නායි කණ්ඩායමේ ප්‍රධානම පන්දු යවන්නන් දෙදෙනකු වී සිටීමද විශේෂත්වයක්.

ගුජරාටි සංචිතයටද ශ්‍රීලංකා 20 යි 20 නායක දසුන් ශානක ඇතුලත්. එහෙත් ඔහු ක්‍රීඩා කල තරග කිහිපයේදී අඩු දක්ෂතා දැක්වීම හේතුවෙන් දසුන් අද තරගයට එක්වීම අවිනිශ්චිතයි.

IPL තරගාවලි ඉතිහාසයේ ඉහලම දක්ෂතා දැක්වූ කණ්ඩායමක් වන චෙන්නායි කණ්ඩායම දෙස සියලු දෙනාගේම අවදානය යොමුව තියෙනවා.

එහෙත් ගිය වරද IPL ශූරයින් වෙමින් මෙවර තරගාවලියේ ද ඉහලම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් සිටින ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම ද අද තරගයේදී ප්‍රබල සටනක් දෙනු ඇති බව විචාරක මතයයි.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අවස්ථා 09 කදී අයි පී එල් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඔවුන් ඉන් අවස්ථා 04 කදී කිරුළ හිමිකර ගෙන තිබෙනවා. ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම 2022 වසරේදී 

අයි පී එල් ශූරයින් ලෙස කිරුළු පැළඳි අතර මෙවර ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින්නේ දෙවන වරටයි.