Friday, May 17, 2024

General line - 0115112241

IPL අවසන් තරගයට වර්ෂාවෙන් බාධාවන ලකුණු




චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය හැකි බවට වාර්තා පළ වනවා.

ඒ, තරගය පැවැත්වෙන නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනය පිහිටි අහමබදාබාද් ප්‍රදේශයට අද රාත්‍රියේ වැසි ඇතිවිය හැකි බවට එරට කාලගුණ අංශ පුරෝකථනය කර තිබීම හේතුවෙන්. ක්‍රීඩාංගනයට ඉහළ අහස මේවනවිට වළාකුළුවලින් බරව ඇති බවයි වාර්තා වන්නේ. 

කෙසේවෙතත් ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස සැලකෙන අහමදාබාද් ක්‍රීඩාංගණයේ දී රාත්‍රී 7 යි 30ට අයි පී එල් අවසන් මහා තරගය ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.

මෙම ක්‍රීඩාංගනය තුළ එකවර ඇතුළත් කළ හැකි ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව එක් ලක්ෂ 32,000 ක් පමණ වනවා. මේවනවිටත් ක්‍රිඩා ලෝලීන් දහස් සංඛ්‍යාත පිරිසක් නරේන්ද්‍ර මෝදි ක්‍රිඩාංගනයේ ප්‍රේක්ෂකාගාරය වෙත පැමිණ සිටින බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ. 

කෙසේවෙතත් තරගයට වැස්සෙන් බාධා එල්ල වුවහොත් එහි සිදුවිය හැකි වෙනස්කම් කිහිපයක් පිළිබඳව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව, වැස්සෙන් බාධා එල්ල වන විට තරගය ආරම්භ කර පන්දුවාර 5ක් හෝ ක්‍රීඩා කර නොමැති නම්, තරගය නැවත පැවැත්වීම සඳහා අමතර දිනයක් ලබාදීමේ හැකියාව පවතිනු ඇති. 

එමෙන්ම කාසියේ වාසිය උරගා බැලීමෙන් පසුව තරගය ආරම්භ කර එක් පන්දුවක් හෝ ක්‍රීඩා කර තිබුණ විටකදී වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් තරගය නැවත පැවැත්වීමට ලබාදෙන අමතර දිනයේ දී තරගය ආරම්භ කළ යුත්තේ පෙර දිනයේ තරගය නැවැත් වූ අවස්ථාවේ සිටයි.

කාසියේ වාසිය උරගා බැලීමෙන් පසුව වාර්ෂාවෙන් බාධා එල්ල වුවහොත්, තරගය නැවත පැවැත්වීමට ලබා දෙන අමතර දිනයේ දී පන්දුවාර 20ම ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වන අතර නැවතත් කාසියේ වාසිය උරගා බැලීමට ද අවස්ථාව හිමිවනවා.

එමෙන්ම අමතර දිනයක අවසන් තරගය පැවැත්වීමට සිදු වූ අවස්ථාවක අවශ්‍ය නම් කණ්ඩායම් නායකයින්ට කණ්ඩායමේ ක්‍රීඩකයින් වෙනස් කිරීමට ද අවස්ථාවට හිමි වනු ඇති. 

මෙවර IPL ශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි 20ක මුදලක් පිරිනැමෙන අතර එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 70කට අධිකයි.

අනුශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි 13ක මුදලක් පිරිනැමෙන අතර එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 45කට අධික වනවා.