Monday, November 25, 2024

General line - 0115112241

සිම්බාබ්වේ ගිය ශ්‍රී ලංකා පිලට සිදුවූ අපහසුතා ගැන ක්‍රිකට් ආයතනය කතා කරයි




2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගය වටයට සහභාගිවීම සදහා සිම්බාබ්වේ බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට හෝටල් පහසුකම් සැපයීම ප්‍රමාදවිම හේතුවෙන් එම ක්‍රීඩකයින් දැඩි අපහසුතාවකට පත්වීම සම්බන්ධයෙන් මේ වනවිට  දැඩි කතාබහක් මතුව තිබෙනවා.

පැය 20 ක පමණ දීර්ඝ ගුවන් ගමනකින් අනතුරුව සිම්බාබ්වේ දේශයට ළගා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බුලවායෝහි වෙන්කර තිබූ හෝටලයට පැමිණ පැය 3 ක් පමණ ගතවන තුරු ඔවුන්ට හෝටල් කාමර වෙන් කිරීම සිදුව තිබුණේ නැහැ.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අදාළ හෝටලයේ ප්‍රධාන පිවිසුමේ බිම වාඩි වී ගිමන්  හරින ආකාරය දැක්වෙන ඡායාරූපද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කර තිබුණා. 


එම සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණීමට සුළු වේලාවකට පෙර තවත් ක්‍රිකට් කණ්ඩායමක් අදාළ හෝටලය වෙත පැමිණ ඇති බවත් එහි පරීක්‍ෂා කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමාදයක් සිදුව ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

කෙසේවෙතත් එම තත්ත්වය පිළිබද හෝටල් කළමණාකාරිත්වය දැනුවත් කිරීමට සිය ආයතනය කටයුතු කිරීමෙන් පසු කෙටි කාලයක් තුළ එම ගැටළුව විසදා ගැනීමට හැකි වූ බවයි  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙන්නේ.