Wednesday, May 1, 2024

General line - 0115112241

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්




තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති  ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමට අදාල විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය නීතිපතිවරයාට කල් ලබා දී තිබෙනවා.

මෙම පෙත්සම සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශමින්ද වික්‍රම එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කර තිබෙනවා.

ඒ අනුව මෙම පෙත්සමට අදාළ  විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ලබන 14 වන දා තෙක් නීතිපතිවරයාට අධිකරණය විසින් කල් ලබා දී තිබෙනවා.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 15 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළා.

දේව මෙහෙයකදී තමන් විසින් සිදු කළ ප්‍රකාශයක් හරහා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත් අඩංගුවට ගැනීමට සූදානම් වන බව අදාල දේවගැතිවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කළ ලෙස ඉල්ලමින් ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.